பொருள் விரிவாக்கம்

ඩයලොග් ‘ගොවිමිතුරු’ සේවාව, තේ පර්යේෂණ ආයතනය හා අත්වැල් බැඳ ගනිමින් තේ ක්ෂේත්‍රය නගා සිටුවයි

2023 දෙසැම්බර් 12         කොළඹදී

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි උපදේශන මොබයිල් සේවාව වන ‘ගොවිමිතුරු’ සේවාව, මෙරට කෘෂි ක්ෂේත්‍රයේ නිරත වන පිරිසට අත්වැලක් ලෙසින් හඳුන්වා දෙනු ලැබූවකි. එමගින්, තේ වගාකරුවන්ට හොඳම විසඳුම් පිරිනමමින් ‘ගොවිමිතුරු’ හරහා සමස්ත තේ ක්ෂේත්‍රය නගා සිටුවීම පිණිස ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වය, තේ පර්යේෂණ ආයතනයේ පැවති විවෘත දින වැඩසටහනේදී තවදුරටත් ශක්තිමත් කෙරිණි.

ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය හා දීර්ඝකාලීන සහයෝගීතාව සඳහා අත්වැල් බැඳගත් ‘ගොවිමිතුරු’ සේවාව මගින්, තේ වගාව සඳහා ඉවහල් වන හොඳම ක්‍රමවේද ඉදිරිපත් කරමින් මෙරට තේ ගොවීන් පුළුල් ලෙස දැනුවත් කිරීමට කටයුතු කෙරේ. ඒ සඳහා අඛණ්ඩව මඟ පෙන්වන හොඳම මූලාශ්‍රයක් ලෙසින් ‘ගොවිමිතුරු’ තුළින් ගොවීන්ට අත්‍යවශ්‍ය වගා උපදෙස් ලබාදීම එම සහයෝගීතාවයේ අරමුණයි. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක හා අනුගතව, නවීනතම ඩිජිටල් කෘෂි විසඳුම් පිරිනමමින්, සමස්ත තේ ක්ෂේත්‍රයේ නවීකරණයන් සිදුකිරීම සඳහා වන මුලපිරීමක් ලෙසින්ද, ‘ගොවිමිතුරු’ හැඳින්විය හැකිය. විශේෂයෙන්ම, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 01 හි සඳහන් දුප්පත්කම තුරන් කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම එහි එක් අරමුණකි. එමෙන්ම, යටිතල පහසුකම් නැංවීම, පුළුල් හා තිරසර කර්මාන්ත මෙන්ම නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමද ඇතුළත්, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 09 හි දැක්වෙන අරමුණුද ඉන් සාක්ෂාත් කර ගැනීම අපේක්ෂාවයි.

මේ වනවිටත්, මෙරට තේ ගොවීන් 35,000 කට අධික පිරිසක් විසින් සාදරයෙන් වැලඳ ගෙන තිබෙන මෙම ‘ගොවිමිතුරු’ සේවාව තවදුරටත් පුළුල් කරමින්, ශ්‍රී ලංකාවේ තේ ගොවීන් ඩිජිටල් තාක්ෂණය සමගින් සන්නද්ධ කරන බවට විවෘත දින වැඩසටහනේදී, තේ පර්යේෂණ ආයතනය හා ‘ගොවිමිතුරු’ සතුටින් දැනුම් දුනි. ඒ අනුව, තේ ගොවීන් මුහුණපාන දුෂ්කරතා ජයගැනීමට හැකි, හොඳම විසඳුම් ඉදිරිපත් කිරීමට තේ පර්යේෂණ ආයතනය මගින් සිදු කෙරෙන පර්යේෂණ ‘ගොවිමිතුරු’ සඳහා ඉවහල් කර ගැනෙන අතර, විශේෂඥ තාක්ෂණික හා උපදේශන සහයද අඛණ්ඩවම ඊට හිමි වේ. තේ ගොවීන් මුහුණ දෙන දුෂ්කරතා ජය ගැනීමේ කාර්යයේදී, හොඳම විසඳුම් සමගින් විශිෂ්ටතම සේවාවක් සැලසීම උදෙසා දෙපාර්ශවය අතර අවබෝධතාව ගොඩ නැංවීම සඳහාද, විවෘත දින වැඩසටහන මනා පිටිවහලක් විණි.

තමන් වගා කරන බෝග සම්බන්ධයෙන් නිසි කලට නිසි තොරතුරු දැනගැනීම සඳහා වන මූලාශ්‍රයන්හි හිඟකම, මෙරට තේ ගොවීන් මෙන්ම අනෙකුත් ගොවීන්ද මුහුණපාන බරපතල ගැටලුවක් වේ. එම ගැටලුවට විසඳුමක් වශයෙන්, තේ ද ඇතුළුව බෝග 32 ක් සඳහා භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු ගෙන ඒම, ‘ගොවිමිතුරු’ සේවාව මගින් සිදු කරයි. ‘ගොවිමිතුරු’ app එක Google PlayStore හරහා ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් හෝ 616 අමතා වොයිස් (voice) සේවාව සක්‍රීය කරගැනීමෙන් මෙම කෘෂි තොරතුරු වෙත පිවිසීමට ගොවි ජනතාව වෙත අවකාශ සලසා දි ඇත. මෙලෙස එක්වන ගොවීන්ට කාර්යක්ෂම වගා ක්‍රම වෙත යොමුවීමෙන් හා බෝග ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගැනීමෙන් අවසානයේ වැඩි අස්වැන්නක් නෙළා ගැනීමට හැකියාව සැලසේ.

වැඩි විස්තර සඳහා https://www.dialog.lk/govi-mithru වෙත පිවිසෙන්න.