பொருள் விரிவாக்கம்

ඩයලොග් බලගන්වන ක්‍රීඩාවේ සහ විනෝදාස්වාදයේ දැවැන්තම සැමරුම, ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024’ අද සිට

2024 අගෝස්තු 16         (කොළඹදී)

 

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා මෙන්ම, ශ්‍රී ලංකේය ක්‍රීඩාවේ ප‍්‍රමුඛතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා විසින් බලගන්වනු ලබන, ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය වන, ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024’ අද සිට 18 වැනිදා දක්වා කොළඹදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබේ. ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශය හා සංචාරක අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා සැණකෙළිය, දකුණු ආසියාවේ එවැනි දැවැන්ත ක්‍රීඩා උළෙලක් පවත්වන පළමු අවස්ථාව ලෙසින් ඉතිහාසගත වේ.

‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024 කණ්ඩායම් ක්‍රීඩා 7 ක් සහ ඊට සමගාමී නැටුම්, ගැයුම්, වැයුම් සහ ආහාර ප‍්‍රදර්ශන ඇතුළු අනෙකුත් විනෝදාස්වාද ඉසව් ගණනාවකින් සමන්විත වන අතර, ජාතික සහ පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම සුවහසක් ක්‍රීඩා ලෝලී සහ විනෝදකාමී ජනතාව ඊට සහභාගීවීම සඳහා සැදී පැහැදී සිටිති. ක්‍රිකට්, රග්බි, වොලිබොල්, නෙට්බෝල්, පාපන්දු, පැසිපන්දු සහ හොකී යන ක්‍රීඩාවන්ගෙන් මෙලෙස මෙම සැණකෙළිය සමන්විත වනු ඇත.

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබොල් තරගාවලිය 2024

‘ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024 හි වොලිබෝල් තරගාවලිය ලෙසින් කොළඹ 07 ගුවන් හමුදා ගෘහස්ත ක්‍රීඩාගාරයේදී කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම පැවැත්වීමට නියමිතය. වයස අවුරුදු 25න් පහළ තරගාවලියක් ලෙසින් ක්‍රියාත්මක ‘ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියෙහි පැවැති පළාත් සහ ජාතික මට්ටමේ තරගවලින් අනතුරුව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4 මේ සඳහා සුදුසුකම් ලබා සිටින අතර, අදාළ අවසන් මහා තරග 16 වැනිදා පැවැත්වෙනු ඇත. මෙහිදී ශූරතා, අනුශූරතා හැරුණු විට කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම ප‍්‍රහාරකයා, දක්ෂතම පහර වළක්වන්නා, දක්ෂතම පන්දු සකසන්නා, දක්ෂතම පිටිය රකින්නා, දක්ෂතම පන්දු පිරිනමන්නා ආදී විශේෂ දක්ෂතා සඳහාද සම්මාන පිරිනැමෙනු ඇත.මෙහි අවසන් මහා තරග 16 වැනිදා පස්වරු 1.00 සිට ඇරඹීමට නියමිතය.

ස්පෝර්ට්ස් ෆියෙස්ටා ටී10 ක්‍රිකට් තරගාවලිය- 2024

‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024’ හි ක්‍රිකට් තරගාවලිය හෙවත් ‘ස්පෝර්ට්ස් ෆියෙස්ටා ටී10 ක්‍රිකට් තරගාවලිය- 2024 තර්ස්ටන් ක්‍රිකට් පිටිය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් පිටිය යොදාගනිමින් 16,17 සහ 18 යන දින තුනේදී, ටී-10 (පන්දුවාර 10) ලීග් තරගාවලියක් ලෙසින් පැවැත්වේ. 16 සහ 17 වැනිදා තර්ස්ටන් පිටියේද, 17 සහ 18 වැනිදා බ්ලූම්ෆීල්ඩ් පිටියේදී පැවැත්වෙන මේ සඳහා පිරිමි කණ්ඩායම් 5ක් සහභාගීවීමට නියමිතය. ජාත්‍යන්තර පිටියේදී දස්කම් දැක්වූ අප ක්‍රීඩකයන් තරග වදින මෙහි කොළඹ කණ්ඩායම චරිත් අසලංක විසින්ද දඹුල්ල කණ්ඩායම භානුක රාජපක්ෂ විසින්ද, ගාල්ල කණ්ඩායම දුනිත් වෙල්ලාලගේ විසින්ද, මහනුවර කණ්ඩායම නිරෝෂන් දික්වැල්ල විසින්ද, යාපනය කණ්ඩායම ජනිත් ලියනගේ විසින්ද මෙහෙයවනු ඇත.මෙම ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය 18 වැනිදා පස්වරු 2.40 සිට 4.20 දක්වා බ්ලූම්ෆීල්ඩ් පිටියේදී පැවැත්වේ.

ගුවන් හමුදාපති කුසලාන රග්බි තරගාවලිය - 2024

කොළඹ 07 තුරග තරඟ ක්‍රීඩාංගණයේදී එකී දින තුන පුරාවට පැවැත්වීමට යෙදී ඇති ‘ගුවන්හමුදාපති කුසලාන රග්බි - 2024 රග්බි තරගාවලිය පිරිමි, කාන්තා සහ වයස අවුරුදු 16 න් පහළ පාසල් බාලක ආදී ලෙසින් තරග අංශ තුනකින් සමන්විත සත් සාමාජික තරගාවලියක් ලෙසින් ක්‍රියාත්මක වේ. මේ සඳහා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් පිරිමි අංශය සඳහා කණ්ඩායම් 12 ක් සහ කාන්තා අංශය සඳහා කණ්ඩායම් 4 ක් ද පාසල් නියෝජනය කරමින් කණ්ඩායම් 14 ක් ද සහභාගීවීමට සුදානමින් පසුවේ. අදාළ පළමු දින දෙකෙහි මෙම ලීග් තරගත්, තෙවැනි දිනය හෙවත් අවසන් දිනයේ අවසන් මහා තරගත් පැවැත්වීමට යෙදී ඇත. මෙහි පිරිමි අංශයේ තරග A සහ B ලෙසින් කාණ්ඩ දෙකකින් යුක්තව පැවැත්වෙන අතර අදාළ A කාණ්ඩයේදී කුසලාන, පළිහ සහ පළඟ ලෙස ශූරයන් අනුශූරයන් තීරණය වීමටත් එම කාන්තා තරග කුසලාන තරගාවලියක් ලෙසත්, පාසල් බාලක තරගාවලිය කුසලාන, පළිහ සහ පළඟ ශූරයන් අනුශූරයන් තීරණය වන ලෙසත් පැවැත්වෙනු ඇත.මෙහි අවසන් මහා තරග 18 වැනිදා පස්වරු 6.20 ට ඇරඹීමට නියමිතය.

ස්පොර්ට්ස් ෆියෙස්ටා හොකී - ජනාධිපති රන් කුසලාන තරගාවලිය - 2024

‘ස්පොර්ට්ස් ෆියෙස්ටා ජනාධිපති රන් කුසලාන - 2024 හෙවත් මෙම සැණකෙළියේ හොකී තරග කණ්ඩායම් 65ක සහභාගීත්වයෙන් කොළඹ 07 පදනම් මාවතේ පිහිටි කෘත්‍රීම හොකී පිටියේ පැවැත්වීමට කටයුතු සූදානම්ව තිබේ. මෙහි ජ්‍යෙෂ්ඨ අංශයේදී පිරිමි කණ්ඩායම් 17 ක් සහ කාන්තා කණ්ඩායම් 16ක් තරගවදින අතර, එයට සමගාමීව පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ පාසල් තරගාවලියට කණ්ඩායම් 16 බැගින් සහභාගීවීමට නියමිතය. සමාජිකයන් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් වශයෙන් පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වෙන මෙම හොකී තරගාවලිය අදාළ දින තුනෙහිම පෙරවරු 8.30 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිතය. එහි අවසන් මහා තරග අවසන් දිනය හෙවත් 18 වැනිදා පස්වරු 2.30 ට ඇරඹීමට කටයුතු සූදානම්ව ඇත.

ස්පෝර්ට්ස් ෆියෙස්ටා 3 x 3 පැසිපන්දු ශූරතාව 2024

මෙම දැවැන්ත ක්‍රීඩා සැණකෙළියේ පැසිපන්දු තරග හෙවත් ‘ස්පෝර්ට්ස් ෆියෙස්ටා 3 x 3 පැසිපන්දු ශූරතාව 2024 කොළඹ 07 ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලන 3 x 3 පිටියේදී කණ්ඩායම් 34ක දැවැන්ත සහභාගීත්වයකින් පැවැත්වීමට කටයුතු සම්පාදනය වී තිබේ. 16, 17 සහ 18 යන අදාළ තෙදිනම තුන් සමාජික තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මේ සඳහා පිරිමි කණ්ඩායම් 24ක් සහ කාන්තා කණ්ඩායම් 10 ක් සහභාගී වේ. පැසිපන්දු තරගාවලියේ අවසන් මහා තරගය 18 වැනිදා පස්වරු 4 ට ඇරඹෙනු ඇත.

ස්පෝර්ට්ස් පියෙස්ටා මිනි පාපන්දු තරගාවලිය - 2024

කොළඹ 07 රේස්කොස් ක්‍රීඩාංගණයේදී (තුරඟ තරග පිටියේදී) පැවැත්වීමට නියමිත ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024 හී පාපන්දු තරගාවලිය හෙවත් ‘ස්පෝර්ට්ස් පියෙස්ටා මිනි පාපන්දු තරගාවලිය - 2024 ජ්‍යෙෂ්ඨ පිරිමි‍ මෙන්ම යොවුන් බාලක යන තරග අංශවලින් සමන්විත වේ. සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත තරග ලෙසින් පැවැත්වෙන මෙහි පළමු වටය ලීග් ක්‍රමයටත්, දෙවැනි වටය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයටත් පැවැත්වේ. මෙහිදී පිරිමි අංශයේදී ප‍්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ 12 ක් සහ පාසල් තරගාවලියේදී කණ්ඩායම් 6 ක් තරග වදිනු ඇත. මෙම පාපන්දු තරගාවලියේ සියලු‍ තරග, අදාළ දිනවල පස්වරු 7 සිට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන අතර එය ක්‍රීඩා ලෝලීන් හට අපූරු ආස්වාදනීය අත්දැකීමක් වනු ඇත. මෙහි අවසන් මහා තරග 18 වැනිදා පස්වරු 5.30 ට ඇරඹීමට කටයුතු සූදානම්ව ඇත.

ස්පොර්ට්ස් ෆියෙස්ටා යොවුන් නෙට්බෝල් ශූරතාව - 2024

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය වන ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024 හි නෙට්බෝල් තරග (ස්පොර්ට්ස් ෆියෙස්ටා යොවුන් නෙට්බෝල් ශූරතාව -2024) සඳහා කණ්ඩායම් 20 ක් සහභාගීවීමට නියමිතය. ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යංශ පිටියේදී යොවුන් තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙහි පළමු දෙදින ලීග් තරගද, තෙවැනි දිනයේදී අවසන් වටයේ තරගද ක්‍රියාත්මක වනු ඇත. මෙම නෙට්බොල් තරගාවලියේ අවසන් තරගය 18 වැනිදා පස්වරු 3.00 ට තුරග තරඟ ක්‍රිඩාංගණයේදී ඇරැඹීමට නියමිතය.

මෙහි නිල විකාශන සහකරු සහ ඩිජිටල් මාධ්‍ය සහකරුවන් ලෙසින් ThePapare TV ( නාලිකා අංක 63) ThePapare TV HD (නාලිකා අංක 126) සහ Dialog ViU සහ ThePapare.com ඔස්සේ මෙම සැණකෙළියේ අපූර්ව තරග අවස්ථා ක්‍රීඩාලෝලී ජනතාව වෙත විකාශය කිරීමට කටයුතු යොදා ඇති අතර අදාළ අවසන් මහා තරග සියල්ල සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ.

ක්‍රීඩාව සහ විනෝදාස්වාදය කැටිකළ පෙර නොවූ විරූ අත්දැකීමක් විඳගැනීම උදෙසා ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024 වෙත පැමිණෙන මෙන් තරග සංවිධායකයෝ මෙරට ක්‍රීඩාලෝලී ජනතාවට වෙත ආරාධනා කර සිටිති.