ඩයලොග්, ISO 31000 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, සිය ආයතනික අවදානම් පාලනය තවදුරටත් ශක්තිමත් කරයි
2026 ජුනි 27 කොළඹ
වමේ සිට: Quality Austria Central Asia හි උපාය මාර්ගික ව්‍යාපාර අධ්‍යක්ෂ, නවනාත් එස්. පෙන්දුර්කර් මහතා, Quality Austria Central Asia Pvt Ltd Sri Lanka හි අධ්‍යක්ෂ, රජීව දන්තනාරායන මහතා, Quality Austria Central Asia හි දේශීය ප්‍රධානී (සහතික කිරීම් සහ පුහුණු) අමිත් ශිවාජි පටෙල් මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී, අසංග ප්‍රියදර්ශන මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ආයතනික අවදානම්, ව්‍යාපාර අඛණ්ඩතාව සහ රක්ෂණ කළමනාකරණ අංශයේ කළමනාකාරිනී, තරුෂි ඒකනායක මෙනෙවිය ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ජාත්‍යන්තර ISO 31000:2018 මූලධර්මයන්ට අනුකූලව, මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රය තුළ ස්වාධීන ඇගයීම් සහතිකයක් හිමිකර ගනිමින්, තම ආයතනික අවදානම් කළමනාකරණ (ERM) පාලන ව්‍යුහයේ සාර්ථකත්වය තවදුරටත් ශක්තිමත්ව සටහන් තැබීමට සමත්ව තිබේ. Quality Austria Central Asia Private Limited ආයතනය මඟින් සිදුකළ මෙම ස්වාධීන සහතික කිරීම හරහා, වගකීම් සහගත බවෙන් සහ විනිවිදභාවයෙන් යුක්තව, අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාවද පෙරදැරි කරගත් ව්‍යාපාරික සංස්කෘතියක් උදෙසා ඩයලොග් දක්වන කැපවීම යළිත් මූර්තිමත් වේ. එපමණක් නොව, සමාගමේ අඛණ්ඩව පුළුල් වන විදුලි සංදේශ හා ඩිජිටල් සේවාවන් හරහා තිරසාර වර්ධනයක් අත්පත් කර ගැනීමටත්, පාර්ශවකරුවන්ගේ නොබිඳුණු විශ්වාසය රඳවා ගනිමින් ජාත්‍යන්තර මට්ටමේ අවදානම් පාලන ක්‍රමවේද ස්ථාපිත කිරීමටත් මෙමඟින් මහඟු රුකුලක් ලැබේ.
මෙම ඇගයම් සහතිකය මඟින්, ඩයලොග් සමාගමේ සමස්ත ව්‍යුහයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය, ලොව ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව අතිශය සාර්ථකව සහ ක්‍රමවත්ව බද්ධ කර ඇති බව සනාථ කෙරෙයි. ඒ අනුව, ISO 31000 මූලධර්මයන්ට අනුකූලව මෙවැනි ස්වාධීන ජාත්‍යන්තර ඇගයීමක් දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම විදුලි සංදේශ සේවා සම්පාදකයා ලෙසින්, මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමාගමට තම විනිවිදභාවය, වගවීම සහ අභියෝගයන්ට නොසැලී මුහුණ දීමේ හැකියාව කෙරෙහි පාර්ශවකරුවන් තුළ පවතින ඉහළ විශ්වාසය තහවුරු කරමින්, ආයතනික පාලන ක්‍රමවේද තවත් ශක්තිමත් කිරීමට ලද මනා දිරිගැන්වීමකි. එමෙන්ම, සමාගම සතු මෙම ශක්තිමත් පාලන ව්‍යුහය හුදෙක් පරිපාලනමය ක්‍රමවේදයක් නොවී, එහි අනාගත ක්‍රමවේද, සැලසුම් කටයුතු, එදිනෙදා මෙහෙයුම් කටයුතු මෙන්ම සමස්ත පාලන ක්‍රියාදාමය හා බැඳී පවතී. ඩයලොග්, විදුලි සංදේශ සහ ඩිජිටල් සේවා ඔස්සේ සිය දෙස් විදෙස් ව්‍යාපාරික සීමා අතික්‍රමණය කරන මේ වකවානුවේ වඩාත් ඥානාන්විත මෙන්ම නිවැරදි තීරණ ගැනීම සඳහා මින් ශක්තිමත් පදනමක් සැපයෙන අතරම සයිබර් ආරක්ෂණය, තොරතුරුවල රහස්‍යභාවය, තාක්ෂණික අවදානම්, නීතිමය අනුකූලතා සහ මෙහෙයුම් අභියෝග බඳු, මතු විය හැකි ඕනෑම තත්ත්වයක් හඳුනාගෙන සාර්ථකව මැඬ පැවැත්වීමට ද මේ හරහා මඟ පෑදේ. මෙම ක්‍රමවේදය 5G තාක්ෂණය, Cloud සේවා, Fintech සහ AI වැනි අතිනවීන ක්ෂේත්‍ර හරහා පාරිභෝගිකයින්ට වඩාත් ආරක්ෂිත නවෝත්පාදන පිරිනැමීමට ද සුවිශාල වශයෙන් ඉවහල් වේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය. "ISO 31000 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අප ලැබූ මෙම ස්වාධීන ඇගයීම, ගෝලීය මට්ටමේ ශක්තිමත් අවදානම් කළමනාකරණ පද්ධතියක් පවත්වාගෙන යාම වෙනුවෙන් ඩයලොග් අඛණ්ඩව දක්වන කැපවීම කියාපාන කදිම සාක්ෂියක්. අපි ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය හැඩගස්වමින් ඉදිරියට යන ගමනේදී, අපගේ පාරිභෝගිකයින්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමටත්, අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමටත්, නවෝත්පාදනයන් වැඩි දියුණු කරන අතරේ, පාර්ශවකරුවන්ගේ විශ්වාසය තහවුරු කිරීමටත්, ශක්තිමත් අවදානම් පාලන ක්‍රමවේද අතිශයින්ම වැදගත්."
ඩයලොග් සමාගම සිය විදුලි සංදේශ සහ ඩිජිටල් සේවා ජාලය අඛණ්ඩව පුළුල් කරමින් සුවිශේෂි ඉදිරි ගමනක නිරත මෙම වකවානුවේ, ලොව නිරන්තරයෙන් වෙනස් වන ප්‍රශස්තම ක්‍රමවේදයන්ට අනුකූලව තම අවදානම් කළමනාකරණ හැකියාවන් අඛණ්ඩව ශක්තිමත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කරයි. ඒ අනුව, අවදානම් පාලන ක්‍රමවේද ව්‍යාපාරයේ සෑම අංශයක් සමඟම මැනවින් බද්ධ කරමින්, දිනෙන් දින ඉස්මතු වන නවීන අවදානම් පිළිබඳව කල්තියා අවධානයකින් යුතුව කටයුතු කිරීම හේතුවෙන්, පාරිභෝගිකයින් වෙත සුරක්ෂිත ඩිජිටල් නවෝත්පාදන පිරිනමන අතරම, පාර්ශවකරුවන්ගේ උපරිම විශ්වාසය හා අයිතිවාසිකම් රැක ගැනීමටත් කටයුතු කරයි. ඒ හරහා, අභියෝග හමුවේ නොසැලෙන, ස්ථාවර හා තිරසාර ව්‍යාපාරික ගමනක් සාක්ෂාත් කර ගැනීම අපේක්ෂාවයි.