பொருள் விரிவாக்கம்

ඩයලොග්, ශ්‍රී ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් දිරියක් වූ යෙහෙළි වෙබ් අඩවිය යාවත්කාලීන කරයි

2023 දෙසැම්බර් 27         කොළඹ දී

 

 Official Website to Support Inclusive Online Journeys

ජායාරූපය (වමේ සිට දකුණට) - ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ අලෙවිකරණ සාමාන්‍යාධිකාරිනී අශානි සේනාරත්න, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරිනී සැන්ඩ්‍රා ද සොයිසා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ආයතනික සංවර්ධන, මානව සම්පත් උප සභාපතිනි රේඛා වීරසූරිය, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන වෙබ් අඩවිය යළි දියත් කරන අවස්ථාව.

සමාජිය සහ ආර්ථික ගැටලු හමුවේ මෙරට කාන්තාවන්ට අත්‍යවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම් සලසමින් ඔවුන්ට සවියක් වන මෙරට ප්‍රථම ත්‍රෛභාෂික වෙබ් අඩවිය වන යෙහෙළි, ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් යාවත්කාලීන කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ කාන්තාවන් අඛණ්ඩව සවි බල ගැන්වීමේ අරමුණ පෙරදැරිව, ඔවුන්ගේ ජීවිතවල බලාපොරොත්තුවේ කිරණක් බඳු Yeheli.lk, මෙලෙස නවමු වෙනසකින් යුතුව යාවත්කාලීන කෙරෙන බව ඩයලොග් පරිශීලකයින් වෙත සතුටින් දැනුම් දෙයි.

මෙරට කාන්තාවන් මුහුණ දෙන බරපතල සමාජ ගැටලු හමුවේ, ඔවුන්ට අත්‍යවශ්‍ය මානසික සෞඛ්‍ය රැකවරණය සැලසීමේ අරමුණින් ඩයලොග් විසින් මෙම වෙබ් අඩවිය හඳුන්වා දෙනු ලැබිණි. කාන්තාවන් මුහුණ පාන, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, රැකියා ස්ථාන තුළ සිදුවන මානසික පීඩාවන් සේම, නායකත්ව භූමිකාවන්හි කාන්තා නියෝජනය අඩුවීම ආදිය වර්තමානයේ තීරණාත්මක සමාජීය ගැටලු බවට පත්ව තිබේ. එවැනි ගැටලු හමුවේ, මෙරට කාන්තාවන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි වෙබ් අවකාශයක අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙය දියත් කෙරිණි. විශේෂයෙන්ම, කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යය රැකවරණය සම්බන්ධයෙන් පවතින අවශ්‍යතාවද මෙමගින් සපුරාලීම අපේක්ෂාවයි. එවැනි සියලු අවශ්‍යතා හමුවේ මෙරට කාන්තාවන්ට අවැසි අත්‍යවශ්‍ය සහය ලබාදීමට යෙහෙළි වෙබ් අඩවිය, කාන්තා පිහිට, Without Borders Sri Lanka, Doc 990 සමග මෙන්ම, ලක් වසම් ලේඛාධිකාරය විසින් අරමුදල් සපයන හිතවතී සේවාව සමගින් අත්වැල් බැඳ ගනිමින් අන්තර්-ක්‍රියාකාරී, නිර්නාමික උපදේශන සේවාවන් එමගින් සලසයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා නොමිලේ සහය සලසන මෙම අඩවිය වටා මේ වන විටත් 500,000 කට අධික පරිශීලක සංඛ්‍යාවක් එක්රොක් වී සිටිති. එලෙස එක් වන පරිශීලකයින්හට අපයෝජන, පුද්ගල සම්බන්ධතා ආශ්‍රිත ගැටලු, පවුල් සැලසුම් හා ලිංගික සෞඛ්‍යය ගැටලු ආදිය සම්බන්ධයෙන් මෙන්ම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ආදී සංවේදී කාරණා සම්බන්ධයෙන් ගැටලු පවතින අවස්ථාවක, අන්තර්ජාලය ඔස්සේ විශේෂඥ සහය ලබා ගැනීම සඳහා සුරක්ෂිත අවකාශය මින් අඛණ්ඩව සලසයි. එමෙන්ම, මෙම වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කරන ගැටලුවලට ඒ ඒ ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් විසින් පැය 48ක් ඇතුළත එම ගැටලු විසදා ගැනීමට අවශ්‍ය උපදෙස් සහ මග පෙන්වීම් ලබාදීම ද විශේෂත්වයකි. වෙබ් අඩවිය සමඟින් සම්බන්ධ වී තමන්ගේ ගැටලු නිර්නාමිකව ඉදිරිපත් කිරීම සඳහා පරිශීලකයින්ට, සිය ජංගම දුරකතන අංකය සමගින් එහි ලියාපදිංචි වී තමන්ගේම profile එක සහිත ගිණුමක් සකස් කර ගත යුතු වේ.

මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කොට යළි දියත් කිරීම පිළිබඳව, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන මහතා අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළේය. “යෙහෙළි මෙරට කාන්තාවන්ගේ ජීවිත අලෝකමත් කිරීමට සංවේදී මාතෘකා පිළිබඳ සාකච්ඡා කරමින්, ඒවා සම්බන්ධයෙන් මෙම සුරක්ෂිත වෙබ් අවකාශය තුළින් නිසි මග පෙන්වීම් හා උපදෙස් ලබා දෙමින් අත්‍යවශ්‍ය සහය සලසනවා. අපි බරපතල සමාජීය අභියෝගවලට මුහුණ දෙමින් සිටින අවස්ථාවක, මෙම වෙබ් අඩවිය මෙරට ආර්ථිකයට අත්වැලක් වීමට කාන්තාවන් ශක්තිමත් කිරීම සඳහා කැප වන බව සඳහන් කළ යුතුයි. ඒ අනුව, වෙබ් අඩවිය මෙලෙස නැවත දියත් කිරීම, ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයන් භාවිතා වන සමාජයක් බවට පත් කිරීමේ කිරීමේ අපගේ දැක්ම සම්බන්ධයෙන් සුවිශේෂී පියවරක්.”

GSMA හා සහය දක්වන පර්යේෂණාත්මක මුලපිරීමක් ලෙසින් මෙම වෙබ් අඩවිය, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන්හි පස්වැන්න සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් 2017 වසරේදී, ඩයලොග් විසින් දියත් කරන ලද්දකි. මෙරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය උදා කිරීම සහ ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන් සහ ගැහැණු ළමයින් සවිබල ගැන්වීම එම තිරසර සංවර්ධන ඉලක්කයට ඇතුළත් අතර, සමාජය තුළ කතා බහ වියයුතු නමුත් එසේ නොකරන මාතෘකා බවට පත්ව ඇති කාරණා සම්බන්ධයෙන් අවධානය ලබාදීමේ අවශ්‍යතාවද එහිදී මතුව තිබිණි. මේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ඩිජිටල් මැදිහත්කරුගේ භූමිකාවට පණ පොවන යෙහෙළි වෙබ් අඩවිය, මෙම සංස්කෘතික බාධකයන් ජය ගැනීම සඳහා මෙරට කාන්තාවන්ට සවියක් වෙමින් අන්තර්ජාල භාවිතය තුළින් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට කටයුතු කරයි. ඒ හේතුවෙන්, වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම ඩිජිටල් අන්තර්කරණයෙන් යුතු සමාජයක් බිහි කිරීමෙහිලා සුවිශේෂී සන්ධිස්ථානයක්ද වෙයි.

යෙහෙළි වෙබ් අඩවිය සම්බන්ධ වැඩි විස්තර සඳහා https://yeheli.lk/ වෙත පිවිසෙන්න.