Body

91 වෙනි ආනන්ද - නාලන්ද 'සුලෝහිත සංග්‍රාමය' ඩයලොග් ආසිආටා විසින් බලගන්වයි

February 26th, 2020         Colombo

 

news-1

ඡායාරූපයේ වමේ සිට දකුණට: ආනන්ද විදුහලේ කණ්ඩායම් නායක කණිෂ්ක රන්තිලකගේ, ආනන්ද විදුහලේ තරග කමිටුවේ වැඩ බලන සම සභාපති ලාල් හේවාගම, ආනන්ද විදුහලේ විදුහල්පති එස්. එම්. කීර්තිරත්ත, ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි අසංග ප්‍රියදර්ශන, නාලන්ද විද්‍යාලයේ විදුහල්පති වත්තුහේව, නාලන්ද විද්‍යාල තරග කමිටුවේ සම සභාපති මොහාන් ගුණදාස සහ නාලන්ද විද්‍යාලයේ කණ්ඩායම් නායක අවිශ්ක පෙරේරා.

කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර ආචාර්ය එන්.එම්.පෙරේරා අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන 91 වෙනි 'සුලෝහිත සංග්‍රාමය' වාර්ෂික මහා ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම අඛණ්ඩව තුන්වෙනි වරටත් අනුග්‍රාහක ලෙස් ඉදිරිපත්ව සිටියි. මෙම තරගය මාර්තු 7 සහ 8 යන දෙදින එස් එස් සී පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාසල් අතර වැඩි වශයෙන්ම සමරනු ලබන මහා ක්‍රිකට් තරගයක් වන 'සුලෝහිත සංග්‍රාමය' වටා වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් එක් රොක්වී සිටින අතර, සැණකෙළියක ස්වරූපයක් ගන්නා මෙම අවස්ථාවට විචිත්‍රවත් අංග කිහිපයක්ද එක්වී තිබෙන්නේ පවුලේ සාමාජිකයන්ටත් ආදි ශිෂ්‍යන්ටත් එකසේ විනෝද හැකි ආකාරයෙනි. එමෙන්ම අතීතයේ සිට පැවත එන සම්ප්‍රදායන්ට ගරු කරමින්, පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකබව රැකෙන අයුරින් පැවැත්වෙන ඉහළම ප්‍රමිතියේ තරගයක් ලෙසද මෙය ප්‍රේක්ෂකයන් අතර ප්‍රචලිතය.

මේ අතර පී.ද.එස්. කුලරත්න කුසලානය වෙනුවෙන් මෙම දෙවිදුහල් අතර පැවැත්වෙන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මාර්තු 15 වෙනිදා එස්.එස්.සී පිටියේදීම පැවත්වීමට කටයුතු යොදා ඇත.

පිතිකරු/ තුන් ඉරියව් ක්‍රීඩක කණිෂ්ක රන්තිලකගේ මෙවර ආනන්ද විදුහලේ නායකයා ලෙස කටයුතු කරන අතර, නාලන්ද විදුහලේ කණ්ඩායමේ නායකයා ලෙස කඩුළු රකින ක්‍රීඩක සහ පිතිකරු ක්‍රීඩක අවිශ්ක පෙරේරා කටයුතු කරයි.

මෙම පාසල් දෙක විසින්ම ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් දායක කර තිබේ. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර 1968 වසරේදී නාලන්දීය විද්‍යාල කණ්ඩායමේ නායකත්වය හෙබවූ අතර 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ අර්ජුණ රණතුංග මහතා ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බෞද්ධ පාසල් ද්විත්වයක් වන ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක‍්‍රීඩකයන් 55 දෙනකුට අධික සංඛ්‍යාවක් බිහි කර ඇත. ඒ අතර රොෂාන් මහනාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් යන විශිෂ්ඨ ක‍්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ ගෞරවයද හිමිකර ගත්හ.

ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ පළමු අර්ධ ශතකය, පළමු ශතකය සහ පළමු ද්විත්ව ශතකය සටහන් කරන ලද්දේ අර්ජුණ රණතුංග(1982), සිදත් වෙත්තමුණි(1982) සහ බ්‍රෙන්ඩන් කුරුප්පු(1986) යන ආනන්දීයන් තිදෙනා විසිනි. එමෙන්ම බ්‍රෙන්ඩන් කුරුප්පු, ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ තම මංගල තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ එකම කඩුළු රකින්නාගේ වාර්තාවටද හිමිකම් කියයි.

ශ්‍රී ලංකාව ඉහළම තලයේ නියෝජනය කළ සෙසු ආනනද - නාලන්ද ක්‍රීඩකයන් අතර අජිත් ද සිල්වා, චන්දික හතුරුසිංහ, අවිශ්ක ගුණවර්ධන, තිලාන් සමරවීර, තිලාන් විජේසිංහ, ලලිත් කළුපෙරුම, අනුර රණසිංහ, යොහාන් ගුණසේකර, කුමාර් ධර්මසේන, අසංක ගුරුසිංහ යන ක්‍රීඩකයන් වේ.

නාලන්දයෙන් බිහිවූ, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ක‍්‍රිකට් ලකුණු 10,000 හා ටෙස්ට් ලකුණු 10,000 කඩඉම් දෙකම පසුකල පළමු ක්‍රීඩකයා ලෙස ගෞරවයට පාත‍්‍ර විය.

ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය විශිෂ්ට ක්‍රීඩකයන්ට අමතරව අනර්ඝ ක‍්‍රිකට් පරිපාලකයන්, ක‍්‍රිකට් විනිසුරුවරුන්, ගෞරවයට ලක්වූ තරග තීරකවරුන්, ක‍්‍රීඩා මාධ්‍ය විශිෂ්ටයන් රටට දායාද කර ඇති අතර නැසී ගිය කරුණාරත්න අබේසේකර, ප්‍රේමසර ඈපාසිංහ සහ පාලිත පෙරේරා වැනි ක්‍රීඩාව රට තුළ ප‍්‍රචලිත කිරීමෙහි විශාල සේවයක් කළ දක්ෂ විස්තර විචාරකයන්ද මෙම පාසල් මගින් බිහිවී තිබේ.

ඩයලොග් ආසියාටා පීඑල්සී ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර, ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය, ජාතික කනිෂ්ඨ ශූරතා වොලිබෝල් තරගාවලිය, ජාතික කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු, පාසල් ක්‍රිකට් තරගාවලි, කනිෂ්ඨ වොලිබෝල් සහ යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය මෙන්ම ලෝක පැරාලිම්පික් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම බලගන්වනු ලබයි.