Body

ඩයලොග් සහ විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව එක්ව ‘Sri Lanka Pensions App’ එළිදක්වයි

10 October 2019         Colombo

 

news-1

ඡායාරූපයේ වමේ සිට දකුණට : ඩයලොග් ආසිආටා පීඑල්සී හි මොබයිල් පසුගෙවුම් - ප්රධාන කළමනාකාර - ජනිත් පීරිස්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්රධාන විධායක සුපුන් වීරසිංහ, විශ්රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් - ඒ.ජගත් ඩී. ඩයස් මහතා, රාජ්ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්යාංශයේ ලේකම් - ජේ.ජේ.රත්නසිරි මහතා, විශ්රාම වැටුප් අතිරේක අධ්යක්ෂ ජනරාල් - කේ.ආර්. පත්මප්රිය මහතා ‘Sri Lanka Pensions App’ එළිදක්වන මොහොතට එක්වෙමින්.

ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නිවේදන සම්පාදක වන ඩයලොග් ආසිආටා පීඑල්සී, විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ එක්ව, ජාතික විශ්රාමික දිනය සමරනු වස්, 2019 ඔක්තෝබර් 08 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී, විශ්රාමික රාජ්ය සේවකයන් සඳහාම වන ‘Sri Lanka Pensions App’ එළිදක්වනු ලැබීය. මෙය විශ්රාමික රාජ්ය සේවකයන් සඳහා වන පළමු මොබයිල් App එක වන අතර,මෙමඟින් විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් තමන්ට අවශ්ය සේවාවන් ලබාගැනීම සඳහා ඔවුන්ව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබලගන්වනු ලබයි.

මෙම Sri Lanka Pensions App එක මඟින් විශ්රාමික රාජ්ය සේවකයන්ගේ ආසන්නතම මාස 3ක විශ්රාම වැටුප් විස්තර සහ විශ්රාම වැටුපෙන් සිදු කර ඇති අය කිරීම් බලා ගැනීමටත් ඉඩ සැලසෙන අතර, ඩයලොග් සහ ඩයලොග් හා සම්බන්ධ අනෙකුත් පාර්ශ්ව වෙතින් සුවිශේෂී දීමනා භුක්ති විඳීමටත් ඉඩ සලසාදී තිබේ. තවද නුදුරු අනාගතයේදී විශ්රාම වැටුප් ප්රකාශයක් ඉල්ලුම් කිරීම, විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් වෙනත් විමසීම් සිදුකිරීම, බැංකු ණය ඉල්ලුම් කිරීම ඇතුළු තවත් සේවා රැසක් සැලසේ. ‘Sri Lanka Pensions App’ එක හරහා ජීවිත සහතිකය (Life certificate renewal) අලුත්කර ගැනීම පහසුවෙන්, සරලව සිදුකරගැනීමට අවස්ථාව සැලසෙන අතර, ඒ වෙනුවෙන් සෑම වසරක් පාසා ග්රාම නිලධාරියෙකු හමුවීමට විශ්රාමිකයන් හට අවශ්යතාවයක් මතු නොවේ.

‘Sri Lanka Pensions App’ එළිදකින්නේ ඩයලොග් සහ විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව එක්ව, ඩයලොග් ප්රශංසා මොබයිල් පසුගෙවුම් පැකේජය හඳුන්වාදීමේ ඉදිරි පියවරක් වශයෙනි. ඩයලොග් වෙතින් ශ්රී ලංකාවේ ප්රථම වරට පැවැත්වු ඩයලොග් Future connect වැඩමුළු ඔස්සේ ප්රශංසා පාරිභෝගිකයන්ව ස්මාර්ට් ජංගම දුරකථන හරහා අන්තර්ජාල භාවිත කිරීමට හුරු කරවීම මෙන්ම සමාජ ජාලා ඔස්සේ ඔවුන්ගේ ආදරණීයයන් හා සම්බන්ධවීමට අදාළ දැනුම ලබා දෙන ලදී.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පැවසුවේ මෙවැන්නකි “රාජ්ය සහ පෞද්ගලික අංශයේ සාර්ථක සහයෝගීතාවයකින්, විශ්රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ ප්රගතිශීලී නායකත්වය සමග එක්ව විශ්රාමික රාජ්ය සේවකයන් උදෙසාම නිර්මාණය කළ ‘Sri Lanka Pensions App’ එළිදැක්වීම බල ගැන්වීමට හැකිවීම අප මහත් ගෞරවයක් වශයෙන් සලකනු ලබනවා. Dialog ප්රශංසා මොබයිල් පසුගෙවුම් පැකේජ හඳුන්වාදීම හරහා විශ්රාමික රාජ්ය සේවකයින් සවිබල ගන්වන අතරම, ශ්රී ලාංකීය සමාජයේ සෑම ජන කොටසකම ජීවන රටාවන් ගුණාත්මක කිරීමට අප දරන නොනිමි උත්සාහය යළිත් අවධාරණය කරයි. ශ්රී ලාංකීය පුරවැසියන් ඩිජිටල් සාක්ෂරතාවයෙන් පරිපූර්ණ කරන අතරම, වඩාත් පහසු බවකින්, සරල බවකින් හා විනිවිදභාවයකින් යුත් ඩිජිටල්කරණ පහසුකම් භුක්ති විඳිමින් තම විශ්රාම වැටුපට අදාළ සේවාවන් කාර්යක්ෂමව ඉටුකරගන්නා ප්රතිලාභ හිමියන් බවට පත් කිරීමට, අප දරන මහත් උත්සාහයක මෑත කාලීන මුලපිරීමක් වශයෙන් ‘Sri Lanka Pensions App’ එළිදැක්වීම හඳුන්වාදිය හැකීයි.”

Google Play Store සහ Apple App Store වෙතින් ‘Sri Lanka Pensions App’ එක ඩවුන්ලෝඩ් කරගැනීමේ අවස්ථාව විශ්රාමික රාජ්ය සේවකයන් හට දැන් උදාවී තිබේ. ඩයලොග් ප්රශංසා මොබයිල් පසුගෙවුම් පැකේජයක් ලබාගැනීම සඳහා විශ්රාමිකයන් තම ජාතික හැඳුනුම්පත, පදිංචිය තහවුරු කිරීම සඳහා බිල්පතක් හා තම විශ්රාමික හැඳුනුම්පත සමඟ ඩයලොග් පාරිභෝගික සේවා මධ්යස්ථානයක් වෙත පිවිස අයැදුම්පතක් ඉදිරිපත් කළ යුතු වේ.