Body

සැවොම මහත් උද්‍යෝගයෙන් බලා සිටින ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලිය මාර්තු මාසයේදී ඇරඹේ

29 පෙබරවාරි 2020         කොළඹ

 

news-1

ඡායාරූපයේ වමේ සිට දකුණට: ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ උප සභාපති සුසන්ත මෙන්ඩිස්, ශ්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති ටෝනි අමිත්, ආසියානු රග්බි සම්මේලනයේ තරග හා ඉහළ දක්ෂතා පිළිබඳ සභාපති අසංග සෙනෙවිරත්න, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති බී.ඒ. අබේරත්න, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලි නානායක්කාර, ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති ලසිත ගුණරත්න, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරි - සන්නාම හා මාධ්‍ය, හර්ෂ සමරනායක.

news-1

1A කොටසේ කණ්ඩායම් නායකයන්

news-1

1B කොටසේ කණ්ඩායම් නායකයන්

සැවොම මහත් අපේක්ෂාවෙන් බලා සිටින ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලිය මාර්තු මාසයෙන් ඇරඹෙන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා සහ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ප්‍රවර්ධකයෙකු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් රටේ අනාගත ශූරයින් සවිබලගැන්වීම සඳහා සිදුකරන මෙහෙවරේදී පාසල් රග්බි ලීග් සහ Knockout Tournament සඳහා ප්‍රථම වතාවට වසර 3ක ගිවිසුමකට එළැඹිණ. ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් ධර්මරාජ විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් අතර තරගය, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. ලීග් තරගාවලියේ පළමු කොටස තරග 30 කින් සමන්විත වන අතර, මෙහිදී රවුන්ඩ් රොබින් ක්‍රමයට පාසල් 12 ක් කණ්ඩායම් 2 කට බෙදී ශූරතාවයට සටන් වදිනු ඇත.

2020 ඩයලොග් පාසල් ලීග් රග්බි තරගාවලියේ 1A කොටසේ කණ්ඩායම් අතරට කොළඹ රාජකීය විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල, කොළඹ ඉසිපතන විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විදුහල, ගල්කිස්ස විද්‍යා විදුහල, මහනුවර කිංග්ස්වුඩ් විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල සටන් වදී. 1B සහ 1C කොටස යටතේ පාසල් 24 ක් ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ තරග කරන අතර එහි දෙවන කොටස යටතේ තවත් පාසල් 24 ක් තරගවැදීමට නියමිතයි. මීට අමතරව වයස අවුරුදු 10 න් පහළ සිට වයස අවුරුදු 18 න් පහළ පිරිමි තරගාවලිද, වයස අවුරුදු 10 න් පහළ සිට වයස අවුරුදු 19 න් පහළ බාලිකා පාසල් රග්බි තරගාවලිද ඩයලොග් ආසිආටා විසින් බලගන්වනු ලබයි.

අවසන් තරග වාර තුනේදී ශූරයන් බවට පත්වූ කොළඹ රාජකීය විද්‍යාලය මෙම තරග වාරයේදී ප්‍රමුඛ කණ්ඩායමක් වශයෙන් ඉදිරියෙන් සිටින අතර, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙම තරගාවලියේ අනෙකුත් ප්‍රබල කණ්ඩායම් වශයෙන් සැලකෙන පාසල් ලෙස තරගාවලියට අවතීර්ණ වේ. ඩයලොග් ජනාධිපති පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ජූනි මාසයේදී ආරම්භ වන අතර, එහි අවසන් තරගය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 2019 වසරේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් කණ්ඩායම අවසන් තරගයේදී ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදීන්වූ ශාන්ත ජෝසප් කණ්ඩායම පරාජය කරමින් (18-15) ශූරයන් බවට පත්වූහ.

පාසල් ලීග් රග්බි තරගාවලියේ සමාරම්භක අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි - අමලි නානායක්කාර,“ පාසල් රග්බි ලීග් තරගාවලිය සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලි සඳහා ඩයලොග් ආසිආටා පීඑල්සී සහ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් එළැඹි වසර තුනක අනුග්‍රාහක ගිවිසුම, ජාතියේ අනාගත ශූරයන් වෙනුවෙන් ඩයලොග් සමාගම අද සිදුකරන කදිම ආයෝජනය මැනවින් පිළිබිඹු කරන අතර, මේ හරහා පාසල් රග්බි ක්‍රීඩකයන් රග්බි සමාජ ලීග් දක්වාත්, අනතුරුව ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ ලබාගැනීම සඳහා ජාතික මට්ටමට ඔවුන්ව උසස් කිරීම සඳහාත් හිමිවන්නේ මනා පිටිවහලක් බව පැවසුවාය. සමස්ත රග්බි ක්‍රීඩාවේ අනුග්‍රාහකයන් වශයෙන් ආසියානු රග්බි ක්ෂේත්‍රයේ ඉහළම තලයට පිවිසිය හැකි අයුරින්, ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා උපරිම සහයෝගය ලබාදීම අපේ අරමුණයි. මේ සමඟ තරගාවලියට මගේ උණුසුම් සුබ පැතුම් එක් කරනවා,” යැයි පැවසුවාය.

තරගාවලිය පිළිබඳ පැවති නිල මාධ්‍ය දැක්මේදී අදහස් පළ කළ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති බී.ඒ. අබේරත්න,“ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම මහත් සතුටට කරුණක්. පාසල් රග්බි ක්‍රීඩා තරගාවලිය වසරේ ඉහළම අපේක්ෂා සහිත තරගාවලිය වන අතර, ඩයලොග් ආසිආටා සමඟ පාර්ශවකරුවෙකු වීම හරහා මෙම තරගාවලියත් ක්‍රීඩාවත් තවත් ඉදිරියට රැගෙන යාමට එය හේතුවක් වනු ඇති” බව පැවසීය. “දක්ෂතාවලින් පිරිපුන් ක්‍රීඩකයන් බිහිකිරීම සඳහා මෙම තරගකරුවන් තුළ යහපත් ක්‍රීඩාශීලීත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන ගුණාංග ප්‍රගුණ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.”

ඩයලොග් ආසියාටා Sri Lanka Tuskers, Junior Tuskers, රග්බි සමාජ ලීග් සහ ක්ලිෆඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සඳහා නිල අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරයි. එමෙන්ම ඩයලොග් ආසියානු සත් සාමාජික ශූරතාවලියේ කොළඹ තරගාවලිය සඳහාද අනුග්‍රහය දක්වන අතර, රග්බි පාපන්දු විනිසුරුවන්ගේ ශ්‍රී ලංකා සමාජයේ නිල අනුග්‍රාහකයාද වේ. එමෙන්ම ඩයලොග් ආසියාටා ජාතික ක්‍රිකට්, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර, ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය, ජාතික කනිෂ්ඨ ශූරතා වොලිබෝල් තරගාවලිය, ජාතික කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු, පාසල් ක්‍රිකට් තරගාවලි, කනිෂ්ඨ වොලිබෝල් සහ යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය මෙන්ම ලෝක පැරාලිම්පික් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම බලගන්වනු ලබයි.