Body

Dialog හා Ria Money Transfer එක්ව, මිලියන 20ක ශ්‍රී ලාංකිකයින්ට, පහසුවෙන් හා කඩිනමින් විදෙස් මුදල් ලබාගැනීමේ හැකියාව සලසයි

2026 සැප්තැම්බර් 08         කොළඹ

 

(වමේ සිට දකුණට: මංජුල නිරෝෂන් (Product Specialist – ජංගම මුදල් සේවා, Dialog Axiata PLC), සචිනි ද සිල්වා (ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනී, Dialog Finance), Dr. එමිල් රූබන් (කළමනාකාර අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ කලාපීය අධ්‍යක්ෂ – ඉන්දියාව සහ දකුණු ආසියාව, RIA Money Transfer)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා මෙන්ම මෙරට ප්‍රථම හා විශාලතම මොබයිල් මුදල් සේවාව වන eZ Cash හි සැපයුම්කරු වන Dialog Axiata PLC (ඩයලොග් ආසිආටා පීඑල්සී) ආයතනය, මගින් eZ Cash හරහා මිලියන 20කට අධික ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ සැලසීමේ අරමුණෙන් සුවිශේෂී සහයෝගිතාවකට අත්සන් තබා තිබේ. ඒ අනුව, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් eZ Cash හරහා පහසුවෙන් ලබාගැනීමට හැකියාව උදාකරන මෙම සහයෝගිතාව සඳහා Dialog, විදෙස් මුදල් ගනුදෙනු සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමාගමක් වන Euronet Worldwide, Inc. හි ව්‍යාපාරික අංශය වන Ria Money Transfer (Ria) ආයතනය සමගින් අත්වැල් බැඳ ගනියි. මේ හරහා දියත් කෙරෙන නවතම ක්‍රමවේදය ඔස්සේ, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ මුදල්, ඉදිරියේදී සෘජුවම eZ Cash wallets හරහා තම පවුල් වෙත එවීමට හැකි වේ.

eZ Cash හා අත්වැල් බැඳගත් Ria ආයතනය, ලොව පුරා රටවල් 199ක, ශාඛා 638,000ක ශක්තිමත් ජාලයකින් යුතු ආයතනයකි. ලොව, බිලියන 4.1කට අධික බැංකු ගිණුම්ද සමගින් ඩිජිටල් wallet ගිණුම් බිලියන 3.4කට අධික ප්‍රමාණයක් හරහා ගනුදෙනු සිදුකරන එම ආයතනයට, ජාත්‍යන්තරව දියත් වන තම මුල්‍ය සම්බන්ධතා ජාලය වන, Ria ජාලය හරහා සෘජුවම Dialog හෝ Airtel මොබයිල් සම්බන්ධතාව සහිත eZ Cash wallet එකකට මුදල් එවිය හැක. එවිට eZ Cash හරහා මුදල් ලබාගන්නා සාමාන්‍ය ක්‍රමයට තම ජංගම දුරකතන අංකය සහ PIN අංකය ඇතුළත් කර, තම අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව, එම මුදල් ලබාගත හැකි වේ. දිවයින පුරාම ශ්‍රී ලාංකිකයින්ට රටපුරා 55,000කට අධික eZ Cash අලෙවි නියෝජිතයින් මගින් එලෙස මුදල් ලබාගත හැක. එසේත් නැත්නම්, බැංකුවකට නොගොස්, Commercial බැංකුවේ ATM යන්ත්‍ර හරහාද පහසුවෙන් එම මුදල් ලබාගත හැකිය. ඒ අනුව, මෙය, කොතැනක සිට හෝ විදෙස් මුදල්, තම ජංගම දුරකනය වෙත සුරක්ෂිතව, කඩිනමින් ගෙන්වා ගැනීමේ පහසුව පාරිභෝගිකයින්ට ලබාදෙන නවතම සේවාවකි.

විදෙස් මුදල් ගනුදෙනු සරල හා ආක්ෂිත අයුරින් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ විසඳුමක් ලෙස හඳුන්වාදෙන මෙම ක්‍රමවේදය හරහා, රටේ ඕනෑම ස්ථානයක වෙසෙන, බැංකු ගිණුම් නොමැති පාරිභෝගිකයින්ට වුවත්, අත්‍යවශ්‍ය මූල්‍ය සේවාවන් පහසුවෙන්ම ලබාගැනීමට අවස්ථාව උදා‌ කරයි. ඒ අනුව මෙම නවතම සහයෝගිතාවයෙන්, ඩිජිටල් මුල්‍යකරණ සේවා ඉහළ නැංවීමට Dialog සහ Ria යන ආයතන දෙකේම ඇති කැපවීම මනාව පෙන්නුම් කෙරේ.

Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු මහත්මිය මේ පිළිබදව අදහස් පළ කළේ මෙසේයි. “Ria Foreign Remittance, සමග අප ඇතිකරගත් සහයෝගිතාවය තුළින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අත්‍යවශ්‍ය විදෙස් මුදල් පහසුවෙන් රට තුළට ගෙන්වා ගැනීමට හැකියාව සැලසෙනවා. මේ හරහා අපි පාරිභෝගිකයින්ට ඉදිරිපත් කරන්නේ, විදෙස්ගත නෑදෑ හිතමිතුරන් එවන මුදල්, ඔවුන්ට කඩිනමින්, සුරක්ෂිතව ලබාගත හැකි ක්‍රමයක්. මෙවැනි විසඳුම් සමගින්, ශ්‍රී ලංකාව මුල්‍ය වශයෙන් සවිබල ගැන්වීමටත්, රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමටත්, මෙලෙස අඛණ්ඩව සහය දක්වමින් eZ Cash ඉටුකරන කාර්යභාරය ඉතාමත් වැදගත්.”

Ria හි දකුණු ආසියා කලාපය භාර ජ්‍යෙෂ්ඨ කලාපීය අධ්‍යක්ෂ, එමීල් රූබන් මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. “Ria සම්බන්ධයෙන්, සෑම මුදල් හුවමාරුවක් සඳහාම, ප්‍රවේසම හා සම්බන්ධතාවය වැදගත් බව අපගේ අදහසයි. Dialog සමඟ අප අත්වැල් බැඳගැනීමෙන්, ශ්‍රී ලාංකිකයන්ට දැන් තමන්ගේ ජංගම දුරකතනවලට eZ Cash හරහා විදෙස් මුදල් කඩිනමින් හා පහසුවෙන් ලබාගත හැකියි. පාරිභෝගිකයින් වෙනුවෙන් වඩාත් විශ්වසනීය සේවාවක් පිරිනැමීම සඳහා අපගේ කැපවීම පිළිබිඹු කරන මෙම සහයෝගිතාවයෙන්, විදෙස් මුදල් මත යැපෙන පවුල්වලට යහපත් අනාගතයක් උදාකිරීම වෙනුවෙන් අපි විශ්වාසනීය ලෙස කැපවන බවත් අවධාරණය කරනවා.”

ශ්‍රී ලංකාවේ පවුල් හා ප්‍රජාවන් ශක්තිමක් කරමින් රටේ ආර්ථිකය නගා සිටුවී මෙහිලා විදෙස් විනිමය අතිශයින් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන මෙවන් යුගයක, එම විනිමය වඩාත් සුරක්ෂිත ලෙස පහසුවෙන් මෙරටට ගෙන්වා ගැනීමට මෙම සේවාවෙන් හැකිවේ. ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් අඛණ්ඩව, නම්‍යශීලී හා විශ්වාසදායක මෙන්ම, ඔවුන්ට පහසුවෙන් ලබාගත හැකි මුල්‍ය විසඳුම් පිරිනමන eZ Cash, මිලියන ගණනක් වන ශ්‍රී ලාංකිකයන් වෙනස්වන මුල්‍ය තත්ත්වයන් සඳහා සවිබල ගන්වයි. ඒ හරහා රටේ ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීම උදෙසා වන කාර්යභාරයට දායක වේ. ශ්‍රී ලංකාවේ මොබයිල් මුදල් සේවා සම්බන්ධ නවෝත්පාදන පිරිනමන, එම ක්ෂේත්‍රයේ පුරෝගාමී eZ Cash, තම පාරි‌භෝගිකයින්ගේ දිනෙන් දින අලුත් වන මුල්‍ය අවශ්‍යතා හමුවේ ඔවුන්ට පහසුවෙන් ලබාගත හැකි විසඳුම්, මෙලෙස සාඩම්බරයෙන් පිරිනමනු ලබයි.