Body

Dialog Pay, හොඳම ඩිජිටල් ගෙවීම් නවෝත්පාදනය උදෙසා, ‘Sri Lanka FinTech Awards 2026’ සම්මාන උළෙලේදී රන් සම්මානයට පාත්‍ර වූ වගයි

2026 නොවැම්බර් 05         කොළඹ

 

Dialog Pay Wins Gold for Best Digital Payments Innovation at Sri Lanka FinTech Awards 2026

වමේ සිට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ දත්ත විශ්ලේෂක ටුවාන් පී. ශිරාස්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි දත්ත විශ්ලේෂිකා, මාදවිකා මුණසිංහ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු, තරිඳු කරුණාරත්න, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සන්නාම කළමනාකාරිනී, කිත්මා කුරේ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි මූලෝපාය, සේවා සහ Masterbrand අංශයේ සන්නාම ප්‍රධානී ආකිබ් රෙයාල්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අලෙවිකරණ සහ ව්‍යාපාරික කාර්ය සාධන අංශයේ ප්‍රධානී, ශාන්ත ප්‍රනාන්දු, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ නිෂ්පාදන කළමනාකරු තාරක මදුසංක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් Platforms සහ හවුල්කාරිත්ව අංශයේ උප සභාපතිනි, මුදිතා ප්‍රේමරත්න, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් තාක්ෂණ අංශයේ උප සභාපති උරේෂ් දුමිඳුවර්ධන, ඩයලොග් ආසිආටා පීඑල්සී හි බෙදාහැරීමේ විශිෂ්ටතා කළමනාකාරිනී, නදී තෙන්නකෝන්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි Super App මෙහෙයුම් ප්‍රධාන, නදීශ් නානායක්කාර සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් අලෙවිකරණ ප්‍රධානී, ජාතු ශිවපාතසුන්දරම් යන මහත්ම මහත්මීන් ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් හඳුන්වාදුන්, ඉදිරිගාමී ඩිජිටල් ගෙවීම් විසඳුම වන Dialog Pay, ඉකුත්දා පැවති Sri Lanka FinTech Awards 2026 උළෙලේදී, මෙරට හොඳම ඩිජිටල් ගෙවීම් නවෝත්පාදනය උදෙසා වන රන් සම්මානයෙන් පිදුම් ලැබීය. රට පුරා ආරක්ෂිත හා පහසු ඩිජිටල් ගනුදෙනු තුළින් ශ්‍රී ලාංකීය ජන ජීවිත හා ව්‍යාපාර සරුසාර කරමින්, මෙරට ඩිජිටල් ගෙවීම් පද්ධතිය සවිබල ගැන්වීමට Dialog Pay ලබාදුන් විශිෂ්ට දායකත්වය අගයනු වස් මෙම සම්මානය පිරිනැමිණි.

පාරිභෝගිකයින්ගේ ‌සියලු ගෙවීම් කටයුතු එකම platform එකකින් සිදුකිරීමට හැකියාව ලබාදෙමින්, මෙම වසරේ මුල් භාගයේදී හඳුන්වාදෙන ලද Dialog Pay, ඒ වෙනුවෙන්ම නිර්මාණය කළ Dialog Pay App සහ MyDialog platform හා ඒකාබද්ධ කර ගෙවීම් පහසුව සලසා තිබේ. ඒ අනුව පාරිභෝගිකයින්ට LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද, බිල් ගෙවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, GovPay හරහා ගෙවීමේ පහසුවත්, මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මඟින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක. කෙටි කලකින්, රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳ සල් 100,000කට අධික ජාලයක් හරහා පාරිභෝගිකයින්ට වඩා ආරක්ෂිතව හා පහසුවෙන් ගෙවීම් සිදුකිරීමේ හැකියාව පිරිනමමින් ව්‍යාප්ත වුණු Dialog Pay සමගින්, පහසු ඩිජිටල් ගනුදෙනු සිදුකරන රටපුරා වෙළෙඳ සල්වලටද, මෙරට දිනෙන් දින වර්ධනය වන ඩිජිටල් ගෙවීම් පද්ධතිය සමඟින් දියුණුව උදාකර ගැනීමට අවස්ථාව සලසා තිබේ.

මෙම සුවිශේෂී සම්මානය පිළිබඳව අදහස් දක්වමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙලෙස සඳහන් කළේය. "ශ්‍රී ලංකාවේ දිනෙන් දින වර්ධනය වන ඩිජිටල් ආර්ථිකය තුළ ජනතාව, ව්‍යාපාර සහ සේවාවන් එකිනෙකට සම්බන්ධ කරන විශ්වාසදායක, පහසු ඩිජිටල් ගෙවීම් විසඳුම් ඉතාමත් වැදගත්. අප ලබාගත් මේ සම්මානයෙන්, තහවුරු වන්නේ, ඩිජිටල් platforms හරහා ශ්‍රී ලාංකිකයින්ගේ එදිනෙදා ගනුදෙනු කටයුතු සරල කරමින්, රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් පුළුල් දායකත්වයක් අත්පත් කර දීමට ඩයලොග් දක්වන කැපවීමයි.”

පාරිභෝගිකයින්ගේ, එදිනෙදා ගනුදෙනු කටයුතු ඩිජිටල් නවෝත්පාදන හරහා පහසු කරමින්, ජන ජීවිත හා ව්‍යාපාර සරුසාර කිරීමේ ඩයලොග් සතු අඛණ්ඩ කැපවීම තවත් ශක්තිමත් කරමින් Dialog Pay මෙලෙස රන් සම්මානයට පාත්‍ර විණි. පාරිභෝගිකයින්ට, MyDialog platform එකෙන්, Dialog Pay App හරහා හෝ dialog.lk/dialog-pay වෙත පිවිස, Dialog Pay සහ එහි විශේෂාංග පිළිබඳව වැඩි විස්තර දැනගත හැක.