Body

ඩයලොග් පදනම විසින් බලගන්වන Karuna.lk සමඟ SOS Children’s Villages Sri Lanka එක්වෙයි

නොවැම්බර් 30, 2022         කොළඹදී

 

SOS Children’s Villages Sri Lanka Joins Karuna.lk

ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත් IdeaMart ව්‍යාපාර අංශයේ උපදේශක, පසිඳු ද සිල්වා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ආයතික සැලසුම් හා උපායමාර්ග අංශයේ විශේෂඥ ඊශ්වරී ගලප්පත්ති, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අනුකූලතා නිලධාරී - අසංග ප්‍රියදර්ශන, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, SOS Children’s Villages Sri Lanka හි ජාතික අධ්‍යක්ෂ - දිවාකර් රත්නදුරෙයි, SOS Children’s Villages Sri Lanka හි සහකාර අධ්‍යක්ෂ ආයතනික සහයෝගිතා - නිපුණිකා රුහුණගේ, SOS Children’s Villages Sri Lanka හි සහකාර කළමනාකාර - ඩිජිටල් මූල්‍යාධාර සංවර්ධන හා සන්නිවේදන - සචිතා රොසයිරෝ.

දෙමව්පියන් නොමැතිකමින් හා විවිධ හේතු මත අසරණභාවයට පත්වූ දරුවන් රැකබලාගැනීමට කැපවූ සුවිශාලතම ජාත්‍යන්තර ලාභ නොලබන ආයතනයක් වන SOS Children’s Villages Sri Lanka ඩයලොග් පදනමේ සවිබලයෙන් නිර්මාණය වූ, සනාථ කරන ලද සුබසාධන අරමුණක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍යාධාර වෙබ් අවකාශය වන Karuna.lk සමඟ පසුගියදා සහයෝගීතාවයක් ඇතිකර ගන්නා ලදී. Karuna.lk සඳහා ප්‍රධාන මෙහෙයුම්කාර පාර්ශවය වශයෙන් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයත්, ස්වාධීන විගණන ආයතනය වශයෙන් PwC Sri Lanka යන ආයතනයත් කටයුතු කරයි. උපකාරයට කැමති පරිත්‍යාගශීලී හදවත් ඇති අයට SOS Children’s Villages Sri Lanka විසින් ක්‍රියාත්මක කරනු ලබන දෙමව්පියන් නොමැති දරුවන් රැකබලාගැනීම, ඔවුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම ඇතුළු සුබසාධන වැඩසටහන් ගණනාවකට තම කැමැත්ත අනුව පරිත්‍යාගයෙන් දායක විය හැක.

රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක උදව් අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීමට කැමති පරිත්‍යාගශීලී පාර්ශව ඒකරාශී කරගනිමින් සමාජ වගකීමකින් යුතුව ශ්‍රී ලාංකේය ජන ජීවිත සවිබලගන්වමින් නඟාසිටුවීම අරමුණු කරගෙන Karuna.lk ක්‍රියාත්මක වේ. Karuna.lk හරහා ඉහළ අධීක්ෂණයකින්, විශ්වසනීයව හා ආරක්ෂාකාරී බවකින් යුතුව උපකාර අවශ්‍ය අය වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාග ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. ලාභ නොලබන ආයතන හා සංවිධානවලට මෙන්ම පුද්ගලයන්ට තම සුබසාධන වැඩසටහන / කාර්යය හෝ ව්‍යාපෘතිය Karuna.lk ඔස්සේ ලියාපදිංචි කළ හැකි අතර, පරිත්‍යාගශීලීන්ට වෙබ් අඩවියට පිවිස ඔවුන් පරිත්‍යාගයෙන් දායකවීමට කැමති සනාථ කරන ලද සුබසාධන වැඩසටහනක් හෝ ව්‍යාපෘතියක් තෝරාගෙන Credit හෝ Debit කාඩ්පත් භාවිතයෙන් (Master හෝ Visa), eZ Cash, Dialog Add-To-Bill, Star Points, හෝ Online බැංකු හුවමාරුවක් වැනි ගෙවීම් ක්‍රම රැසක් අතරින් තමන්ට පහසු ගෙවීම් ක්‍රමයක් තෝරා ගනිමින් මූල්‍ය පරිත්‍යාගයකින් දායක විය හැක.

Children’s Villages Sri Lanka හි ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා මෙලෙස අදහස් දක්වන ලදී.” මෙරට පවතින වත්මන් ආර්ථික අර්බුදයේ අහිතකර ප්‍රතිඵලයක් ලෙස තවත් බොහෝ දරුවන් පිරිසක් දෙමව්පියන් නොමැතිකමින් අසරණභාවයට පත්වීමේ අවදානමක් සහ තමන්ගේ ජීවිතය රැකගැනීමට අත්‍යවශ්‍ය නිසි පෝෂණය ලබාගැනීමේ අසීරුතාවයකට ඉතා වේගයෙන් ඇද වැටෙමින් තිබෙන තත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. ආයතනයක් විදියට අපිට හැකි උපරිමයෙන් තවත් විශාල දරුවන් පිරිසකට උපකාර කරමින් ඔවුන්ට අවශ්‍ය ආහාර සහ හිසට සෙවණක් වැනි මූලික මානුෂීය අවශ්‍යතා සැලසීමෙන් අපි අපේ කාර්යභාරය ඉටුකළත්, මේ අය වෙනුවෙන් තවත් බොහෝ දේවල් කළ හැකි බව මම මතක් කර සිටිනවා. Karuna.lk ව්‍යාපෘතිය දියත් කරමින් මා ඉහත සඳහන් කළ දරුවන්ගේ කාරණාව සියලුදෙනාගේම අවධානයට යොමු කර අවශ්‍යතාවයක් සහිත කිසිඳු දරුවෙකුට උපකාරයක් මගනොහැරෙන ලෙස මේ ආකාරයෙන් කටයුතු කරන ඩයලොග් සමාගමට මගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා. ”

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම වෙනුවෙන් අදහස් දැක්වූ එම සමාගමේ අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා “Karuna.lk සඳහා SOS Children’s Villages Sri Lanka ආයතනය සම්බන්ධ කරගැනීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙරට ආයතනික පුරවැසියෙකු ලෙසත්, මිලියන 17 කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ ඩිජිටල් සහකරු ලෙසත් ඩයලොග් සමාගම සිය සේවාවන් හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සවිබලගන්වමින් උසස් තත්වයකට ගෙන ඒම සඳහා අඛණ්ඩව කැපවී සිටිනවා. SOS Children’s Villages Sri Lanka වැනි ප්‍රකට නම් දැරූ ලාභ නොලබන ආයතනයක් සමඟ අත්වැල් බැඳගැනීමට හැකිවීම අපේ මේ කාර්යභාරයට දැඩි උද්‍යෝගයක් එක් කළා වගේම මේ හරහා උදව් අවශ්‍ය පිරිස්වලට වුවමනා කරන නිසි උපකාර ලැබෙනු ඇති බවට අපි තුළ දැඩි විශ්වාසයක් තිබෙනවා.”

වැඩි විස්තර සඳහා https://dlg.lk/karunalk_sos වෙත පිවිසෙන්න.