නියමයන් සහ කොන්දේසි

1. අර්ථ නිරූපණයන් සහ අර්ථ විවරණයන්

මෙම ගිවිසුමේ අන්‍යාකාරයෙන් නියම කර ඇත්නම් මිස, පහත සඳහන් පාඨයන්ගෙන් ඊට ඉදිරියෙන් දැක්වෙන අර්ථය අදහස් විය යුතුය.

1. “ගිවිසුම” - යන්නෙන් DBN සමාගම සහ පාරිභෝගිකයා අතර එළඹී ඇති ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් බියොන්ඩ් කනෙක්ටිවිටි කන්ට්‍රැක්ට් ‍‍ෆෝම් (Dialog Broadband Connectivity Contract Form) ආකෘතිය, ඊට තදනන්තරව කරන සංශෝධන යනාදිය ඇතුළුව DBN සමාගම සහ පාරිභෝගිකයා අතර ලියා අත්සන් කරන මෙම ගිවිසුම අදහස් විය යුතු වන අතර, මෙම විෂය සම්බන්ධයෙන් ලිඛිතව හෝ වාචිකව මීට පෙර තිබෙන යම් කවරම වූ ගිවිසුමක්, පොරොන්දුවක්, කරුණු දැක්වීමක් අබිබවා බලාත්මක විය යුතුය.

2. “දිනය” -යන්නෙන් ලිත් වර්ෂයක දිනයක් අදහස් විය යුතුය.

3. ඩීබීඑන් (DBN) - යන්නෙන් ශ්‍රී ලංකාවේ, ‍කොළඹ 02, යූනියන් පෙදෙසේ, අංක 475 දරන ස්ථානයේ සිය ලියාපදිංචි කාර්යාලය පවත්වාගෙන යනු ලබන, ලියාපදිංචි අංක PV 261 දරන, ශ්‍රී ලංකාවේ නීති යටතේ යථා පරිදි සංස්ථාගත කරන ලද සමාගමක් වන, ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම අදහස් විය යුතු වන අතර, ඊට එහි නිලබලයේ සිටින අනුප්‍රාප්තිකයන් මෙන්ම අවසරලත් පැවරුම්ලාභීන් ද ඇතුළත් විය යුතුය.

4. “සවි කිරීම” - යන්නෙන් සේවා සපයන උපකරණය පාරිභෝගික පරිශ්‍රයේ දී සම්පූර්ණයෙන්ම එකලස් කොට ස්ථාපනය කිරීම අදහස් වේ.

5. “පාර්ශ්වය” - යන්නෙන් තනි තනි වශයෙන් ගත් විට එක්කෝ DBN සමාගම හෝ පාරි‍භෝගිකයා අදහස් විය යුතුය.

6. “පාර්ශ්වයන්” - යන්නෙන් සාමුහික වශයෙන් DBN සමාගම සහ පාරි‍භෝගිකයා යන දෙදෙනොම අදහස් විය යුතුය.

7. “සේවා සපයන උපකරණය” - යන්නෙන් ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් බියොන්ඩ් කනෙක්ටිවිටි කන්ට්‍රැක්ට් ‍‍ෆෝම් ආකෘතියේ නිශ්චිතව සඳහන් සේවා සපයන උපකරණය අදහස් වන අතර, ඊට මෙම ලියවිල්ල යටතේ සපයන දෘඪාංග සහ/හෝ මෘදුකාංග ඇතුළත් විය යුතුය.

8. “සේවය/සේවාවන්” - “සේවය/සේවාවන්” යන්නෙන් සේවා සපයන උපකරණය සවිකිරීම, ඒකාබද්ධ කිරීම, අත්හදා බලා පරීක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කර පැවරීම, නඩත්තු කිරීම සහ පුහුණුව ලබාදීම අදහස් විය යුතුය.

9. “පාරිභෝගික පරිශ්‍රය”” - “පාරිභෝගික පරිශ්‍රය” යන්නෙන් දෘඪාංග/මෘදුකාංග සහ/හෝ සේවා සපයන උපකරණය සවිකිරීම කළ යුතු ස්ථානය/පාරිභෝගික පරිශ්‍රය අදහස් විය යුතුය.

10. “වැඩකරන දිනය” - යන්නෙන් ශ්‍රී ලංකාවේ යම් ර‍ජයේ හෝ වෙළඳ නිවාඩු දිනයන් හැර, සඳුදා සිට සිකුරාදා දිනය දක්වා වන දිනයන් අදහස් විය යුතුය.

11. “වර්ෂය” - යන්නෙන් ලිත් වර්ෂයක් අදහස් විය යුතුය.

1.1 මෙම ගිවිසුමේ අවශ්‍ය වන අවස්ථානුගත තත්ත්වයන්ට අනුකූලව, ඒකවචන හඟවන පදවලින් බහුවචන ද, බහුවචන හඟවන පදවලින් ඒකවචන ද, අදහස් විය යුතුය.

1.2 මෙම ගිවිසුමේ නියමයන් සහ කොන්දේසිවල එක් එක් ශීර්ෂය හුදෙක් පරිශීලනය කිරීමේ පහසුව සඳහා පමණක් යොදා ඇති අතර, එය මෙම ගිවිසුමේ කොටසක් වශයෙන් හෝ එහි අර්ථ නිරූපණය හෝ අර්ථ විවරණය යම් කවරම වූ ආකාරයකට වෙනස් කිරීමක් කරන බවට හෝ අදහස් නොවිය යුතුය.

1.3 ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් බියොන්ඩ් කනෙක්ටිවිටි කන්ට්‍රැක්ට් ‍‍ෆෝම් ආකෘතිය මෙම ලියවිල්ලේ අවශ්‍ය ඒකාබද්ධ කොටස් සංයුක්ත විය යුතුය.

2. ගිවිසුමේ විෂය පථය

2.1 මෙම ගිවිසුමේ විෂය පථයට සේවා සපයන උපකරණය පාරිභෝගික පරිශ්‍රය ඇතුළත සැපයීම, භාරදීම, සවිකිරීම, ඒකාබද්ධ කිරීම, අත්හදා බලා පරීක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කර පැවරීම, නඩත්තු කිරීම සහ පුහුණුව සැපයීම ඇතුළත් විය යුතුය.

2.2 සපයන සේවාවන් පිළිබඳ නියමයන් සහ කොන්දේසි DBN සමාගම විසින් පාරි‍භෝගිකයාට කලින් දැන්වීමක් භාරදීමෙන් පසුව, කලින් කලට සංශෝධනය කළ හැකිය. පාරිභෝගිකයා එවැනි සංශෝධනවලට එකඟ නොවන විටක දී, මෙම ගිවිසුමේ නියමයන් සහ කොන්දේසිවලට යටත්ව, පාරිභෝගිකයාට මෙම ගිවිසුම සහ මෙම ගිවිසුමේ සවිස්තරව විධිවිධාන ‍සලසන සේවාවන්වලින් බැහැර වීම/අවසන් කිරීම සිදුකළ හැකිය.

2.3 ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් බියොන්ඩ් කනෙක්ටිවිටි කන්ට්‍රැක්ට් ‍‍ෆෝම් ආකෘතියේ ඉංග්‍රිසි, සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් මතු වුවහොත්, එවැනි විටක දී, ඉංග්‍රිසි භාෂා පාඨය බලපැවැත්විය යුතුය.

3. ගිවිසුමේ වලංගු කාලසීමාව

මෙම ගිවිසුම පාරිභෝගිකයා විසින් සම්පූර්ණ මුදල ගෙවීම කරන දින සිට ක්‍රියාත්මක වීම ආරම්භ විය යුතු අතර, මෙම ගිවිසුමේ සවිස්තරව විධිවිධාන සලසා ඇති පරිදි, මෙහි පාර්ශ්වකරුවන් විසින් මෙම ගිවිසුම අවසන් කරන්නේ නම් මිස, මෙම ගිවිසුම එපරිදි ආරම්භ වන දින සිට වසර දෙකක (02) කාලසීමාවක් බලාත්මකව පැවතිය යුතුය.

4. පාරිභෝගිකයාගේ බැඳීම්

පාරිභෝගිකයා විසින්,

4.1 සම්බන්ධිත උපකරණය සහ අවශ්‍ය සැපයුමේ සිට සේවා සපයන උපකරණය දක්වා නිසි පරිවාරක කේබල් ගමන් මාර්ග ඇතුළුව සේවා සපයන උපකරණය සවිකිරීම පිණිස DBN සමාගමට සහ එහි හවුල්කරුවන්ට අවසර දීම සහ එකී පාරිභෝගික පරිශ්‍රය ඇතුළත ඉඩකඩ වෙන්කර දීම කළ යුතුය.

4.2 සේවා සපයන උපකරණය සඳහා අවශ්‍ය සැලසුම් උපාංග සවිකිරීම පිණිස විදුලිබල මාර්ග ඒකක (Power outlets) විදුලිබල මෙවලම් නියමිත සංඛ්‍යාව සපයා දීම කළ යුතුය.

4.3 සේවා සපයන උපකරණයේ උ‍ප‍යෝගිතාව පිණිස ගිවිසුම බලාත්මකව පවතින කාල සීමාව තුළ ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාව හෝ 4G LTE සම්බන්ධතාව ලබාගෙන පවත්වාගෙන යාම කළ යුතුය.

4.4 සේවා සපයන උපකරණය සවිකොට අත්හදා බැලීමේ පරීක්ෂාව සිදුකිරීමට පසුව, එපරිදි පාරිභෝගික පරිශ්‍රයේ ස්ථාපනය කළ සේවා සපයන උපකරණය භාරගෙන, අවශ්‍ය වෙතොත් UAT ලියවිල්ලට අත්සන් තැබීම කළ යුතුය.

4.5 සේවා සපයන උපකරණය සවිකිරීම සම්බන්ධ යම් සැළකිය යුතු කරුණක් වෙතොත් එවැනි කරුණක්, සේවා සපයන උපකරණය සවිකිරීමේ දින සිට දින තුනක් (03) ඇතුළත DBN සමාගමට දැනුම් දිය යුතුය‍‍.

4.6 සේවා සපයන උපකරණය සහ සේවාවන් භාවිත කිරීම සම්බන්ධයෙන් තනිවම වගකීමට බැඳී සිටිය යුතු අතර, මෙම ගිවිසුම යටතේ සවිස්තරව විධිවිධාන සලසා ඇති සේවාවන් සම්බන්ධ නියමයන් සහ කොන්දේසි පිළිපැදිය යුතුය.

4.7 සේවා සපයන උපකරණයට ලොග් වීමේ පරිශීලක නාමයන්වල සහ මුරපදවල රහස්‍යතාව ආරක්ෂා කිරීමට වගකීම දැරිය යුතුය.

5. DBN සමාගමේ බැඳීම්

DBN සමාගම විසින්,

5.1 පාරි‍භෝගික පරිශ්‍රය ඇතුළත සේවා සපයන උපකරණයට සම්බන්ධ සේවාවන්, DBN සමාගම විසින් නිශ්චිතව සඳහන් කරන සම්මතයන්ට අනුව සැපයිය යුතුය.

5.2 සේවා සපයන උපකරණය සවිකිරීම අදාළ පිරිවිතරයන්වලට අනුව සිදුකරන බවට සහතික කළ යුතු වන අතර, එය, මෙම ගිවිසුමේ නියමයන් සහ කොන්දේසිවල අවශ්‍යතාවයන්ට අනුව සවි කිරීම නිමකිරීමෙන් පසුව, සේවා සපයන උපකරණයේ අත්හදා බැලීමේ පරීක්ෂාව පාරිභෝගිකයා තෘප්තිමත් වන ආකාරයට සිදුකළ යුතුය.

5.3 සේවා සපයන උපකරණය සහ අනෙකුත් ආශ්‍රිත උපකරණ සවිකරන අතරතුර පාරිභෝගිකයාගේ පරිශ්‍රයට කිසිදු අලාභ හානියක් ‍සිදුනොකළ යුතුය.

6. ගෙවීම්

6.1 සේවා සපයන උපකරණය භාරදීමට පෙරාතුව සේවා සපයන උපකරණයේ පිරිවැය (දෘඪාංග, මෘදුකාංග සහ සේවාවන්) පාරිභෝගිකයා විසින් සම්පූර්ණයෙන්ම ගෙවා පියවා දැමිය යුතුය. DBN සමාගම විසින් සුවිශේෂිත අලෙවි ප්‍රවර්ධනයක් පිළිබඳ‍ව පාරිභෝගිකයාට දැනුම් දී ඇත්නම් මිස, සේවා සපයන උපකරණය සඳහා ගෙවීම් සැලස්මක් නොතිබිය යුතු බවට පාරිභෝගිකයා විසින් එකඟ වී පිළිගනු ලැබේ.

6.2 සේවාවන් සම්බන්ධ යම් කවරම වූ අයබදු ගෙවීමක් සිදුකිරීමට පාරිභෝගිකයා වගකීම දැරිය යුතු වන අතර, කිසිදු අයබදු අඩුකිරීමකින් තොරව, පාරිභෝගිකයා විසින් සේවාවන් සඳහා ඩයලොග් වෙත ගෙවීම් සිදුකළ යුතුය.

6.3 සේවා සපයන උපකරණය සවිකිරීම පිණිස යම් කවරම වූ රළු පෘෂ්ඨ (කොන්ක්‍රීට්, කුළුනු, ටයිල් ඇතිරූ මතුපිට වැනි,) විදීමක් සිදුකරන විටක දී හෝ භූමිය හෑරීමක් සිදුකරන විටක දී, අතිරේක ගෙවීමක් පාරිභෝගිකයා වෙතින් අයකරනු ලැබේ.

6.4 සේවා සපයන උපකරණය සවිකිරීමෙන් පසුව, DBN සමාගම විසින් යම් කවරම වූ කාරණයක් සඳහා කිසිදු මුදලක් ආපසු ගෙවනු ‍නොලැබේ.

7. වගකීම් සහතිකය

7.1 සේවා සපයන උපකරණය, වසර දෙකක (02) වගකීම් කාලසීමාවකට යටත්විය යුතුය.

7.2 සේවා සපයන උපකරණයේ සැලසුම් උපාංග, හුදෙක් ඒ සැලසුම් උපාංග ලබාගැනීමට තිබෙන ඉඩප්‍රස්ථාව අනුව සලකා, අලුතෙන් යෙදීම සඳහා DBN සමාගම සහ එහි සේවා හවුල්කරුවන් ස්වකීය තනි අභිමතය තවදුරටත් රඳවා තබාගනු ලැබේ.

7.3 සේවා සපයන උපකරණයේ මෘදුකාංග‍ දෝෂ සහ/හෝ එහි පිහිටීමේ දෝෂ නිවැරදි කිරීම සඳහා පාරිභෝගිකයා විසින් ඉල්ලීමක් ඉදිරිපත් කළ විටක දී, එපරිදි නිවැරදි කිරීම ඉහත කී වගකීම් සහතිකයෙන් බැහැර වන අවස්ථාවක දී, එවැනි නිවැරදි කිරීමේ සේවාවන් ඉටුකිරීම පිණිස පාරිභෝගිකයාගෙන් වෙන් වෙන් වශයෙන් ගාස්තු අයකරනු ලැබේ.

7.4 ඉහත 7.3 වගන්තිය, යම් කවරම වූ දත්ත අහිමි වී සඳහා සහ/හෝ යම් කවරම වූ දත්ත ප්‍රතිෂ්ඨාපනය කිරීමට අපොහොසත් වීම සඳහා DBN සමාගම සම්බන්ධ යම් කවරම වූ නීත්‍යනුකූල වගකීමකින් එකී සමාගම බැහැර කිරීමට යටත් විය යුතුය.

7.5 සේවා සපයන උපකරණයේ යම් කවරම වූ උපාංගයන් ඇතුළුව සේවා සපයන උපකරණය හෝ එහි යම් කවරම වූ කොටසක්, අනිසි විදුලිබල සැපයුමකට සම්බන්ධ කිරීම, අවභාවිතය, නොසැලකිල්ල නිසා හානි සිදුවීම, හදිසි අනතුරු, අකුණු ගැසීම්, වෝල්ටීයතාවේ උච්චාවචන, අනවසරයෙන් වෙනස් කිරීම් සහ/‍හෝ අනවසරලත් තැනැත්තන් විසින් අළුත්වැඩියා කිරීම්වලට විෂය වීම, වගකීම් සහතික මුද්‍රාවට හානි සිදුවීම හෝ එය ගළවා ඉවත් කිරීම, මුහුදු සුළං බලපෑමට නතු වීමෙන්, සතුන් සහ කෘමීන්ගේ බලපෑමෙන් වගකීම් සහතිකය කියවිය නොහැකි වීම හෝ වෙනස්කම් ඇති වීම සිදුවන විට,/සිදුවී ඇති විට, එකී වගකීම් සහතිකය වහාම ක්‍රියාත්මක වන පරිදි ශුන්‍ය සහ බලරහිත විය යුතුය.

7.6 කියවිය නොහැකි හෝ ඇතුළත් කළ නොහැකි මෘදුකාංග, දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය ලිපිගොනු සහ ආකෘති නිමාවන් හුදු දෝෂයන් වශයෙන් අර්ථ නිරූපණය නොකළ යුතු වන අතර, එය සේවා සපයන උපකරණයේ විකල්පයන් වශයෙන් එහිම සඳහන් කර ඇත්නම් මිස, වගකීම් සහතිකය යටතේ ආවරණය නොවිය යුතුය. පාරිභෝගිකයා විසින් භාවිත කරන මෘදුකාංගවල ගුණාත්මකභාවය සඳහා DBN සමාගමට නීත්‍යනුකූල වගකීමක් නොතිබිය යුතුය.

7.7 පරිගණක වෛරස ක්‍රියාකාරීත්වය, අනිසි නිපැයුම් (Spyware), තෙවන පාර්ශ්වයේ මෘදුකාංග නිසා දත්ත අහිමි වීම, දෘඪාංග සහ මෘදුකාංග දෝෂ යනාදිය මෙම වගකීම් සහතිකයෙන් ආවරණය නොකරන බවට පාර්ශ්වකරුවන් එකඟ වී පොරොන්දු වනු ලැබේ.

7.8 බැටරි, ආධාරක/සොකට්ස්, පවර් ඇඩැප්ටර්ස්, යූපිඑස්, මවුස් සහ පරිගණක යතුරු පුවරු වැනි පාර්භෝගිකයා විසින් සේවා සපයන උපකරණයට සවිකරන යම් කවරම වූ අයිතමවලට මෙම වගකීම් සහතිකය අදාළ නොවිය යුතු වන බවට පාර්ශ්වකරුවන් එකඟ වී පොරොන්දු වනු ලැබේ.

7.9 අකුණු ගැසීම්, යම් වෙනත් ස්වාභාවික ආපදා, වෝල්ටීයතාවයේ උච්චාවචන, අනවසරලත් සේවාවන් භාවිතය හෝ අනුක්‍රමිකතාවන් හේතුවෙන් සේවා සපයන උපකරණයේ දෝෂවලට මෙම වගකීම් සහතිකය අදාළ නොවිය යුතු බවට පාර්ශ්වකරුවන්‍ එකඟ වී පොරොන්දුවට බැඳී සිටිනු ලැබේ.

8. ගිවිසුම අවසන් කිරීම

8.1 පාරි‍භෝගිකයා විසින් මෙම ගිවිසුමේ යම් කවරම වූ විධිවිධානයන් කඩකිරීම සහ එකී කඩකිරීම පිළිබඳ ලිඛිත දැන්වීම ලැබීමෙන් දින හැටක් (60) ඇතුළත් ඒ කඩකිරීම නිවැරදි කිරීම පාරි‍භෝගිකයා විසින් පැහැර හරිනු ලැබූ විටක දී, ගිවිසුම අවසන් කරන අවස්ථාව වන විටත් උපචිත වී ඇති බැඳීම්, හිමිකම් ඉල්ලීම් සහ වගකීම්වලට අගතියකින් තොරව සහ ඊට යටත්ව DBN සමාගම විසින් පාරිභෝගිකයාට ලිඛිත දැන්වීමක් භාරදීමෙන් මෙම ගිවිසුම අවසන් කළ හැකිය.

8.2 DBN සමාගම විසින්, මෙම ගිවිසුමේ යම් වෙනත් අයිතිවාසිකම්වලට අගතියකින් තොරව, මෙම ගිවිසුම මතු සඳහන් යම් කවරම වූ අවස්ථානුගත තත්ත්වයක් උද්ගත වීම මත වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කළ හැකිය. එනම්;

අ) පාරිභෝගිකයා ණයගැතිභාවයට පත්වීම හෝ ස්වේච්ඡාවෙන් හෝ අනිවාර්ය ඈවර කිරිමකට ගමන් කිරීම හෝ ගණන් බේරා වසා දැමීම පිණිස ඵලදායී යෝජනා සම්මතයන් සම්මත කිරීම හෝ සිය ණයහිමියන් සමඟ යම් වැඩපිළිවෙලක් හෝ සම්මුතියක් ඉදිරිපත් කිරීම සිදුකළ විටක දී හෝ ඍණපත්‍ර දරන්නන් වෙනුවෙන් හෝ අන්‍යාකාරයෙන් යම් දේපළ භාරකරුවෙකු පත්කළ විටක දී,

8.3 දින තිහක (30) කලින් ලිඛිත දැන්වීමක් පාරිභෝගිකයාට භාරදීමෙන් පසුව DBN සමාගමට සිය අභිමතය පරිදි මෙම ගිවිසුම ඕනෑම විටක දී අවසන් කළ හැකිය.

9. නීත්‍යානුකූල වගකීමේ සීමාව

9.1 මෙම ගිවිසුම යටතේ සේවා සපයන උපකරණය සැපයීම/භාවිතය, උපකරණය අත්හිටුවීම හෝ යම් කවරම වූ හේතුවක් නිසා මෙම ගිවිසුම ‍අවසන් කිරීම හෝ මෙම ගිවිසුම යටතේ DBN සමාග‍මේ යම් කවරම වූ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම හෝ කරණ කොට ගෙන පාරිභෝගිකයාට ව්‍යාපාරය අහිමි වීම, ආදායම අහිමි වීම, ආනුෂංගික හෝ අනියම් අලාභ හෝ යම් වෙනත් අලාභ ඇතිවීම සඳහා, හුදෙක් එවැනි අලාභ/හානි ඇතිවීමට ඉඩප්‍රස්ථාව තිබිය හැකි බවට DBN සමාගමට දැනුම් දී ඇති විටක දී පවා, DBN සමාගමට නීත්‍යනුකූල වගකීමක් නොපැවතිය යුතුය.

9.2 මෙම ගිවිසුම යටතේ ප්‍රකාශිතව විධිවිධාන සලසා ඇත්නම් මිස, මෙම ගිවිසුම යටතේ පිළිගන්වන සේවා සපයන උපකරණය පිළිබඳව, යම් කවරම වූ අතුරු සැලසුම් උපාංග සහ සේවාවන් පිළිබඳව DBN සමාගම විසින් සහතික වීම්, ඇප වීම් හෝ කරුණු දැක්වීම සිදුකරනු ‍නොලැබේ.

10. හානි පූරණය

10.1. මෙම ගිවිසුම යටතේ සේවා සපයන උපකරණය සහ/හෝ ‍සේවාවන් සැපයීමේ දී පාරි‍භෝගිකයාගේ, එහි සේවකයන්ගේ, ‍ගනුදෙනුකරුවන්ගේ, ආගන්තුකව පැමිණෙන්නන්ගේ නොසැලකිල්ල හෝ ඔවුන් විසින් ඕනෑකමින්ම කරන ක්‍රියාවක් හෝ නොකර හැරීමක් නිසා පැන නඟින යම් කවරම වූ සහ සියළුම තෙවන පාර්ශ්වයක හිමිකම්පෑම්වලට එරෙහිව පාරිභෝගියා විසින් DBN සමාගම නිදහස් කිරීම, නිර්දෝෂීභාවයේ තැබීම සහ හානිපූරණය කිරීම කළ යුතු වන අතර, යම් එවැනි හිමිකම් ඉල්ලීමක දී නඩු කීමේ වියදම්වලට පමණක් සීමා නොවන නමුත් ඒවා ද ඇතුළුව සියලුම වියදම් පාරි‍භෝගිකයා විසින් දැරිය යුතුය.

‍10.2 මෙම වගන්තිය මෙම ගිවිසුම කලින් අවසන් කරනු ලැබීම හෝ මෙම ගිවිසුමේ වලංගු කාලය ඉකුත්වීම නොතකා තවදුරටත් නොනැසී පැවතිය යුතුය.

11. බුද්ධිමය දේපළ අයිතිවාසිකම්

11.1 සේවා සපයන උපකරණය සහ/හෝ සේවාවන් සම්බන්ධයෙන් පාරිභෝගිකයා හුදෙක් බුද්ධිමය ‍දේපළවල අයිතිකරු වන බවට මෙම ගිවිසුමේ කිසිදු කරුණකින් අදහස් නොවිය යුතු බවට පාරිභෝගිකයා විසින් ප්‍රකාශිතවම එකඟ වී පොරොන්දුවට බැඳී සිටිනු ලැබේ. තව ද, සේවා සපයන උපකරණයේ/සේවාවන්ගේ යම් කවරම වූ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් මෙම ගිවිසුමේ යම් කවරම වූ කාරණයකින් පාරිභෝගිකයා වෙත පවරනු නොලැබේ.

11.2 DBN සමාගමේ වෙනත් නිෂ්පාදන හෝ සේවාවන් අපකීර්තියට පත්වන අන්දමට හෝ DBN සමාගමේ වෙනත් නිෂ්පාදන හෝ සේවාවන්ට ව්‍යාජ දෘෂ්ටියක් නිරූපණය කරන වෙළඳ ලකුණු, සේවා ලකුණු ලාංඡන සහ/හෝ වෙනත් සන්නාම් නාම වෙතොත් ඒවා පාරිභෝගිකයා විසින් භාවිතා කිරීම නොකළ යුතුය. එවැනි වෙළඳ ලකුණක, සේවා ලකුණක, සහ/හෝ වෙනත් සන්නාම් නාමවල වටිනාකම යම් කවරම වූ ආකාරයකට හීන කරවන යම් කවරම වූ ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් පාරිභෝගිකයා වැළකී සිටිය යුතුය.

12. රහස්‍යභාවය

12.1 මෙම ගිවිසුමේ එක් එක් පාර්ශ්වය, තමන් විසින් මෙම ගිවිසුම ය‍ටතේ හෝ මෙම ගිවිසුම ඉටුකිරීම සම්බන්ධයෙන් යම් වෙනත් පාර්ශ්වයක් හෝ සම්බන්ධයෙන් අත්කරගත් (ඍජුව හෝ වක්‍රව වුව ද,) යම් කවරම වූ ආකාරයක සියළුම වාණිජ සහ තාක්ෂණික තොරතුරු (මෙහි මින්මතු “රහස්‍ය තොරතුරු” වශයෙන් හඳුන්වන,) තරයේම රහස්‍යභාවයෙන් තබාගැනීම පිණිස සිය උපරිම පරිශ්‍රමයන් භාවිත කළ යුතු අතර, ‍එලෙස තරයේම රහස්‍යභාවයෙන් තබාගැනීමට සිය සේවකයන් සහ නියෝජිතයන් සියළු දෙනාම සම්බන්ධයෙන් බන්ධනීය විය යුතුය. තව ද, මෙම ගිවිසුමෙන් අවලෝකනය කරන අරමුණු සඳහා මිස යම් කවරම වූ වෙනත් අරමුණු සඳහා එවැනි රහස්‍ය තොරතුරු යම් කවරම වූ පාර්ශ්වයක් විසින් ප්‍රයෝජනයට ගැනීම නොකළ යුතුය. එමෙන්ම, යම් කවරම වූ පාර්ශ්වයක් විසින් ඒ අනෙක් පාර්ශ්වයෙන් කලින් ලබාගන්නා එකඟතාවකින් තොරව, යම් කවරම වූ ආකාරයක රහස්‍ය තොරතුරු යම් කවරම විටක දී වුව ද, තෙවන පාර්ශ්වයක් වෙත අනාවරණය නොකළ යුතුය.

12.2 ඉහත කී රහස්‍ය තොරතුරු විෂය පථයෙන් පහත සඳහන් තොරතුරු බැහැර විය යුතුය‍. එනම්:-

අ) අනාවරණය කරන අවස්ථාවේ දී සාමාන්‍යයෙන් මහජනයාට ලබාගැනීමට තිබෙන තොරතුරු;

ආ) අනාවරණය කිරීමෙන් පසුව, තොරතුරු ලැබෙන පාර්ශ්වයේ දෝෂයක් නොමැතිව මහජනයාට ලබාගැනීමට තිබෙන තොරතුරු;

ඇ) නීතියෙන් නියම කරන විටක දී, අදාළ පාර්ශ්වය විසින් එළිදරව් කිරීමට පෙළ‍ඹෙන ‍තොරතුරු; වශයෙනි.

12.3 මෙම වගන්තියේ දක්වා ඇති විධිවිධාන, මෙම ගිවිසුමේ වලංගු කාලය කල් ඉකුත් වී යාම හෝ කලින් අවසන් කිරීම සිදු වුව ද, සීමා රහිත කාලසීමාවන් සඳහා තවදුරටත් බලාත්මකව පැවතිය යුතුය.

13. ප්‍රසිද්ධියට පත් කිරීම

මෙම ගිවිසුමේ අඩංගු කරුණු සම්බන්ධයෙන් හෝ මෙම ගිවිසුමෙන් අවලෝකනය කරන යම් කවරම වූ ගනුදෙනු සම්බන්ධයෙන් DBN සමාගමෙන් කලින් ලබාගන්නා ලිඛිත එකඟතාවයකින් තොරව යම් කවරම වූ නිල පුවත්පත් නිවේදනයක්, ප්‍රසිද්ධ ප්‍රකාශයක් හෝ හෙළිදරව්වක් කිරීමට, ඊට අවසර දීමට හෝ බලය දීමට පාරිභෝගිකයාට හිමිකමක් නොපැවතිය යුතු අතර, තව ද,ලිඛිත එකඟතාව ලබාදීම අසාධාරණ ලෙස රඳවා තබාගැනීම ද නොකළ යුතුය.

14. පාලනය වන නීතිය

මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ නීති අනුව පාලනය විය යුතු වන අතර, ඒ අනුව වටහා ගත යුතුය.

15. ආරවුල් විසඳීම

මෙම ගිවිසුම හෝ මෙම ගිවිසුමේ යම් කවරම වූ විධිවිධානයක් සම්බන්ධයෙන් යම් කවරම වූ කාරණාවන්ට ‍අදාළව පාර්ශ්වකරුවන් ‍අතර, යම් ආරවුලක් හෝ විෂමතාවක් පැන නැගුණහොත් මෙහි පාර්ශ්වකරුවන් ඒ ආරවුල හෝ විෂමතාව මිශ්‍ර ලීලාවෙන් සුහඳව විසඳා ගැනීමට සිය උපරිම පරිශ්‍රමය දැරිය යුතුය. මෙහි පාර්ශ්වකරුවන්ට එවැනි ආරවුලක් හෝ විෂමතාවක් දින තිහක (30) කාලයක් නොඉක්මා, මෙහි සඳහන් පරිදි මිත්‍ර ලීලාවෙන් සුහඳශීලිව විසඳා ගැනීමට නොහැකි වු‍වහොත්, ශ්‍රී ලංකාවේ නිසි අධිකරණ බලය සහිත අධිකරණයක නඩු කීමෙන්/කරුණු සැළකොට ඔප්පු කිරීමෙන් විසඳා ගැනීම සිදුකළ යුතුය.

16. දැන්වීම්

‍මෙම ගිවිසුමේ දෙපාර්ශ්වයෙන් යම් කවරම වූ එක් පාර්ශ්වයක් විසින් ඒ අනෙක් පාර්ශ්වයට භාරදීමට නියම වන හෝ බලය පැවරෙන යම් දැන්වීමක් හෝ වෙනත් තොරතුරු, භාරගත් බවට නිසි පිළිගැනීමක් සහිතව ඒ අනෙක් පාර්ශවයට අතින් භාරදීමෙන් හෝ ලියාපදිංචි තැපෑලෙන්, ෆැක්ස් මඟින් හෝ වෙනත් ඊට සමාන සන්නිවේදන ක්‍රමයක් හරහා යැවීමෙන් ඒ අනෙක් පාර්ශවයට භාරදීම කළ හැකිය.

මෙම නියමයන් සහ කොන්දේසි යටතේ පාරිභෝගිකයා විසින් DBN සමාගමට භාරදෙන යම් දැන්වීමක් ලිඛිත විය යුතු වන අතර, පහත සඳහන් ලිපිනයට ලිඛිතව යැවිය යුතු වන අතර, එකී ලිපිනය වෙනසකට භාජනය වීම ‍සහ ඒ බව දැනුම් දීම සිදුවිය හැකිය.

අයිසීටී ව්‍යාපාර ප්‍රධානී,
ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, (PQ 261)
475, යූනියන් පෙදෙස,
කොළඹ 02, ශ්‍රී ලංකාව.

17. අල්ලස සහ දූෂණ විරෝධී බව, ජාල ප්‍රවේශ වගන්ති, තොරතුරු ආරක්ෂාව සහ දත්ත ආරක්ෂාව

https://www.dialog.lk/legal හෝ පාරි‍භෝගිකයා විසින් කලින් කලට තීරණය කරනු ලැබිය හැකි වෙනත් ස්ථානයක ස්ථානගත වී තිබෙන අල්ලස සහ දූෂණ විරෝධී බව පිළිබඳ වගන්ති, ජාල ප්‍රවේශ වගන්ති, තොරතුරු ආරක්ෂාව සහ දත්ත ආරක්ෂාව පිළිබඳ වගන්ති පාරිභෝගිකයා විසින් පිළිපැදිය යුතුය.

18. අනුපාතික බලපෑම

මෙම ගිවිසුමේ දෙපාර්ශ්වයෙන් යම් කවරම වූ පාර්ශ්වයක් විසින් මෙම ගිවිසුමේ යම් කවරම වු නියමයක්, බැඳීමක්, විධිවිධානයක් හෝ කොන්දේසියක් ඉටුකිරීම, පිළිපැදීම හෝ සපුරාලීම පැහැර හැරීම හෝ ප්‍රමාද කිරීම නිසා උද්ගත වන අලාභ සඳහා, හුදෙක් එකී පැහැර හැරීම හෝ ප්‍රමාද කිරීම පැන නැගී ඇත්තේ එක් එක් පාර්ශ්වයේ සාධාරණ පාලනයෙන් ඔබ්බට වන යම් හේතුවක හෝ හේතූන්වල සමස්තය හෝ කොටසක් නිසා හෝ එක් එක් පාර්ශ්වයේ දෝෂයකින් හෝ නොසැලකිල්ලකින් තොරව නම්, සහ එවැනි අවස්ථානුගත තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සාධාරණ උත්සාහයන් ගෙන ඇති බවට එක් එක් පාර්ශ්වය විසින් පැහැදිලිව ප්‍රදර්ශනය කර ඇත්නම්, මෙහි කිසිදු පාර්ශ්වයකට නීත්‍යානුකූල වගකීමක් නොතිබිය යුතුය.

19. සම්බන්ධතාව

මෙම ගිවිසුමෙන් හෝ මෙම ගිවිසුමට අනුකූලව පාර්ශ්වකරුවන් විසින් ගන්නා යම් ක්‍රියාමාර්ගයක් DBN සමාගම සහ පාරි‍භෝගිකයා සම්බන්ධයෙන් ගත්විට පිළිවෙළින් ඒ අනෙක් පාර්ශ්වයේ හවුල්කරුවෙකු, බද්ධ ව්‍යාපාරිකයෙකු, සංගමයක් හෝ වෙනත් සමූපකාර අස්ථිත්වයක් සංයුක්ත නොවිය යුතු වනවා සේම එපරිදි වටහා නොගත යුතු අතර, තව ද, යම් කවරම වූ අරමුණක් සඳහා එක්කෝ දේශ සීමාව තුළ හෝ ඉන් පිටත මෙම ගිවිසුමේ දෙපාර්ශ්වයෙන් යම් කවරම වූ පාර්ශ්වයක් ඒ අනෙක් පාර්ශ්වයේ නියෝජිතායතයෙක් වශයෙන් පත් නොකළ යුතුය. තව ද, මෙම ගිවිසුමේ දෙපාර්ශ්වයෙන් කිසිදු පාර්ශ්වයකට යම් කවරම වූ ආකාරයකට හෝ යම් කවරම වූ අරමුණක් සඳහා, ඒ අනෙක් පාර්ශ්වයේ නාමය බැඳීමකට නතු කිරීමට හෝ ඒ අනෙක් පාර්ශ්වයට එරෙහිව යම් නීත්‍යනුකූල වගකීමක් ඇති කිරීමට අධිකාරිය හෝ බලය නොතිබිය යුතුය. මෙම ගිවිසුම යටතේ නිෂ්පාදකයාගේ භූමිකාව හුදෙක් ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙකු වනු මිස වෙනත් ‍තැනැත්තෙකු නොවන බවට මෙයින් විශේෂයෙන්ම ප්‍රකාශ කරනු ලැබේ.

20. පැවරීම

මෙම ගිවිසුමේ දෙපාර්ශ්වයෙන් කිසිදු පාර්ශ්වයකට මෙම ගිවිසුමේ විධිවිධාන හෝ මෙම ගිවිසුමේ අයිතිවාසිකම්, යුතුකම් සහ/හෝ වගකීම් ඒ අනෙක් පාර්ශ්වයෙන් ලබාගන්නා පූර්ව එකඟතාවයකින් තොරව පැවරිය නොහැකිය.

21. සමස්ත ගිවිසුම

මෙම ගිවිසුමෙන් පාර්ශ්වකරුවන් අතර සමස්ත එකඟතාව වාර්තා කරන අතර, මෙම ගිවිසුම මෙම විෂය සම්බන්ධ කලින් යම් කවරම වූ ගිවිසුම් අබිබවා බලපැවැත්විය යුතුය. මෙම ගිවිසුමේ යම් කොන්දේසියකට කරන වෙනසක්/සුළු වෙනසක්, ලිඛිතව ලියා එක් එක් පාර්ශ්වය විසින් ඊට අත්සන් තබා ඇත්නම් පමණක් ක්‍රියාත්මක විය යුතුය.