Body

ඩයලොග් Google Play Store සඳහා Direct Carrier Billing පහසුකම හඳුන්වාදෙයි

22 November 2019         Colombo

 

news-1

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Google සමාගම සමඟ එක්ව Direct Carrier Billing සේවාව හඳුන්වාදීමට කටයුතු කර ඇත. ඒ අනුව Android ජංගම දුරකතනවල Google Play Store ඔස්සේ යෙදවුම් (apps)/ games මිලදීගැනීම් සිදුකිරීමට, in-game/ in-app මිලදීගැනීම් සිදුකිරීමට, movies, subscriptions ඇතුළු Google Play Store හරහා සිදුකරන සියලු ගෙවීම් ඩයලොග් පාරිභෝගිකයන්ට සිය ඩයලොග් ජංගම දුරකතන ගිණුම් ශේෂය ඔස්සේ පහසුවෙන් ඉටුකරගැනීමට හැකිවනු ඇත.

ඩයලොග් ආයතනය Google සමඟ එක්ව හඳුන්වාදෙන Direct Carrier Billing සේවාවන් හරහා ඩයලොග් පාරිභෝගිකයන් හට Google Play store වෙතින් games, apps සහ movies ඇතුළු විවිධ සේවාවන් ඉතා පහසුවෙන් සිය ජංගම දුරකතනයේ ශේෂය භාවිතා කර මිලදීගත හැකි අතර, පෞද්ගලික තොරතුරු හෝ ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු වැනි අතිරේක විස්තර ලබාදීමක් මේ සඳහා අවශ්‍ය නොවේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ආචාර්ය රේනර් ඩොයිෂ්මන් මෙලෙස අදහස් පල කළේය. “ඩිජිටල් සේවාවන්හි ප්‍රමුඛතම සමාගමක් ලෙස මිලියන 14 කට අධික අපගේ පාරිභෝගිකයන්ට Google Direct Carrier Billing සේවාවන් වැනි මුලපිරීම් හරහා අපි සුවිශේෂී වටිනාකමක් ලබාදෙන බවද, ඩයලොග් පාරිභෝගිකයන්ට තම ප්‍රියතම Google Play අන්තර්ගතයන් සහ සේවාවන් විශ්වසනීයව සහ පහසුවෙන් මිලදීගැනීමට මෙමඟින් අවස්ථාව සලසා දී තිබෙන බවයි. මීට අමතරව Dialog ViU Mini Android Stick එක මිලදීගෙන ඇති පාරිභෝගිකයන්ට Google Direct Carrier Billing සේවාව හරහා නවතම චිත්‍රපට මිලදීගැනීමේ හැකියාව පවතින අතර, සිය නිවසේ රූපවාහිනිය ආධාරයෙන් සුව පහසු පරිසරයක සිට කරදරයකින් තොරව ඒවා නැරඹීමටද හැකි බවයි.”

Play Store හි ගෙවීම් ක්‍රමය Dialog වෙත මාරු කිරීමට Google Play Store වෙත පිවිස ඉහළ වම් කෙලවරේ ඇති drop-down මෙනුව ක්ලික් කර, ‘Payment Methods’ තෝරා, ගෙවීම් ක්‍රමය ලෙස Dialog තෝරාගෙන මෙම පහසුකම අත්විඳින්න.