Body

ඩයලොග් සහ ආසිආටා ඩිජිටල් ලැබ්ස් ශ්‍රී ලංකා 2020 TM Forum විශිෂ්ටතා සම්මානය හිමිකර ගනී

17 ඔක්තෝබර් 2020         කොළඹ

 

news-1

ආසිආටා බර්හාඩ් සමූහයේ ඩිජිටල් නවෝත්පාදන සහ මෘදුකාංග සංවර්ධන ඒකකය වන ආසිආටා ඩිජිටල් ලැබ්ස් සහ ශ්‍රී ලංකාවේ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ඒකාබද්ධව, 2020 TM Forum විශිෂ්ටතා සම්මානය හිමිකරගැනීමට සමත්ව තිබේ. 2020 TM Forum විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාත්‍යන්තර සන්නිවේදන සේවා සම්පාදකයන්, විසඳුම් නිර්මාණකරුවන් සහ නවෝත්පාදකයන් විසින් ඩිජිටල්කරණයේදී අත්කරගන්නා සුවිශේෂී ජයග්‍රහණ ඇගයීමට ලක් කරයි.

ඩයලොග් සමාගම සහ ආසිආටා ඩිජිටල් ලැබ්ස් සමඟ Vodafone UK සහ Infosys සමාගම පාරිභෝගික අත්දැකීම් හා විශ්වසනීයත්වය යන අංශය සඳහා ඒකාබද්ධ ජයග්‍රාහකයන් වශයෙන් නම් කරන ලද අතර, සම්මානය සඳහා නම් කරන ලද ඩිජිටල්කරණයේ ජාත්‍යන්තර ප්‍රමුඛයන් වන Orange Polska SA, Vlocity, Matrixx Software & Salesforce, China Unicom, Three Ireland & Amdocs යන සමාගම් අභිබවා යාමටද හැකිවිය. පාරිභෝගික අත්දැකීම් හා විශ්වසනීයත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන කාණ්ඩ යටතේ, වඩා විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් ලබාදෙමින් විශ්වසනීයත්වය හා පක්ෂපාතීත්වය ගොඩනගා ගනිමින්, ව්‍යාපාරයේ දියුණුව සනාථ කිරීම සඳහා සංකීර්ණ ඩිජිටල් සේවා නිර්මාණය කරමින් කළමනාකරණය කරන සමාගම් හඳුනාගනිමින්, සම්මානය සඳහා නිර්දේශ කරනු ලබයි.

ආසිආටා සමූහයේ උප සමාගමක් වන ඩයලොග් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන අතර, මිලියන 15 කට අධික පාරිභෝගිකයන්ට නවීනතම ජංගම දුරකතන සන්නිවේදන සේවා සලසමින්, මිලියනය ඉක්මවන නිවෙස් සඳහා ස්ථාවර සන්නිවේදන සහ ටෙලිවිෂන් සේවාවන් ලබාදීමට කටයුතු කරයි. GSM Association විසින් පිරිනමනු ලබන Global Mobile (GLOMO) සම්මානය අවස්ථා 7 කදී දිනාගන්නට ඩයලොග් ආයතනය සමත්ව තිබේ.

ආසිආටා සමූහය මෙහෙයුම් කටයුතුවල නිරතවන, වෙළඳපොළ කිහිපයකම ක්‍රියාත්මක වන ආසිආටා ඩිජිටල් ලැබ්ස්, ඩිජිටල් පරිවර්තනයක් සඳහා අවශ්‍ය විසඳුම් සපයන ප්‍රමුඛතම සමාගමකි. ආසිආටා ඩිජිටල් ලැබ්ස් සමාගම මීට පෙර TM Forum සම්මාන උළෙලේදී App Trading Marketplace Catalyst ව්‍යාපෘතිය වෙනුවෙන් ඇගයීමට ලක්වී තිබෙන අතර, TM Forum සම්පත් විශිෂ්ට ලෙස පරිහරණය කිරීම වෙනුවෙන් ‘2019 Digital Transformation Asia’ සම්මාන ප්‍රදානෝත්සවයේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

ජාත්‍යනතර මට්ටමින් ලබාගත් මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරිනී සැන්ඩ්‍රා ද සොයිසා මෙසේ අදහස් පළ කළාය. “TM සම්මාන උළෙලේදී මෙවැනි ජාත්‍යන්තර ජයග්‍රහණයක් හිමිවීම අපට ගෞරවයක් මෙන්ම ඒ පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා. අපගේ පාරිභෝගික සේවා අංශ ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම හරහා ඩයලොග් පාරිභෝගිකයන්ගේ කැමැත්ත පරිදි ගනුදෙනු කිරීමේ අවස්ථාව උදාකර දී, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් පූර්ණ පාලනය සහ නිදහස ලබාදීමට අප සමත්ව තිබෙනවා. ඩයලොග් සන්නාමය පිළිබඳව විශ්වාසය තැබූ අපගේ පාරිභෝගිකයන්ට ස්තුතිවන්තවීමට මෙය අවස්ථාවක් කරගන්නා අතර, ඩිජිටල් පරිවර්තනයක් කරා අප යන ගමනට ඔවුන් දක්වන සහාය වෙනුවෙන් අපගේ ප්‍රණාමය පුදකර සිටිනවා”.

තුෂේර කවුඩවත්ත - ආසිආටා ඩිජිටල් ලැබ්ස් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙසේ සඳහන් කළේය. “තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛ‍යන් සමඟ සමගාමීව විදුලි සංදේශ සමාගම් සඳහා අප විසින් හඳුන්වාදී තිබෙන ඩිජිටල් පරිවර්තන විසඳුම් ඇගයීමට ලක්වීම අපේ සතුටට කරුණක් බව සඳහන් කළ යුතුයි. සිය ඩිජිටල්කරණ ක්‍රියාවලිය හරහා ඩයලොග් අත්කරගත් ව්‍යාපාරික ප්‍රතිලාභ වඩා උසස් පාරිභෝගික අත්දැකීමක් සමඟ වඩා උසස් කාර්යක්ෂමතාවයක් ලබාදීමේදී ඩිජිටල්කරණයේ ඇති වැදගත්කම මැනවින් පෙන්නුම් කරයි.”

TM Forum යනු සේවා සම්පාදකයන් සහ ක්ෂේත්‍රය හා සම්බන්ධ සැපයුම්කරුවන්ගෙන් සමන්විත ගෝලීය විදුලි සංදේශ සංගමයක් වන අතර, රටවල් 180 ක් නියෝජනය කරන සාමාජිකයන් 850 දෙනෙකුගෙන් එය සමන්විත වේ. ගෝලීය විදුලි සංදේශ කර්මාන්තය විසින් ඩොලර් ට්‍රිලියන 2 ඉක්මවන ආදායමක් උපයන අතර, බිලියන 5 ඉක්මවන පාරිභෝගිකයන් පිරිසකට හිමිකම් කියයි.