Body

ඩයලොග් සහ මනුසත් දෙරණ ආයතන නැණදිරි ඩේටා ශිෂ්‍යත්ව පාසල් සිසුන් 100,000කට ප්‍රදානය කරයි

December 21, 2021         Colombo

 

Students from schools across the nation receiving Data Scholarships from the NanaDiri Data Scholarships programme to further pursue their online learning from home.

රට පුරා සිටින පාසල්වල සිසුන්ට නිවසේ සිටම ඔවුන්ගේ මාර්ගගත ඉගෙනීම තවදුරටත් කරගෙන යාමට නැණදිරි ඩේටා ශිෂ්‍යත්ව වැඩසටහනෙන් ඩේටා පිරිනැමිණි.

ලාංකීය සිසු දරු දැරියන් අධ්‍යාපන කාර්යයෙන් ඉවත් නොවීමට අවශ්‍ය පරිසරය සැකසීමේ කාර්යයේ එක් උත්සාහයක් ලෙස, ඔවුන්හට අඛණ්ඩව ජාලගත අධ්‍යාපන කාර්යයේ නිරතවීමේ පහසුකම සළසමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්බන්ධතා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා සමාගම සහ මනුසත් දෙරණ එක්ව, ‘නැණදිරි ඩේටා ශිෂ්‍යත්ව’ වැඩසටහන දියත් කිරීමට යොමුවූ අතර, එමගින් සිය අපේක්ෂිත ප්‍රමාණය ඉක්මවමින් පාසල් 470ක සිසුන් 103,478කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සමත් විය.

ඩයලොග් ආසිආටා සහ මනුසත් දෙරණ එක්ව මෙම වසරේ ජූලි මස ආරම්භ කරනු ලැබූ මෙම නැණදිරි ඩේටා ශිෂ්‍යත්ව වැඩසටහන මගින්, ශිෂ්‍යත්වලාභී සෑම සිසු සිසුවියක් සඳහාම මාස තුනක කාලය දක්වා අන්තර්ජාල අධ්‍යාපන ක්‍රියාවලිය වෙනුවෙන් මාසිකව 10GB දත්ත ප්‍රදානයක් සිදු කරනු ලැබී ය.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් ඩයලොග් ආසිආටා හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘‘ලෝකයට ම බලපාන ආකාරයෙන් වසංගත තත්ත්වයක් නිර්මාණය වී තිබෙන පසුබිමක, අපේ දරුවන්ගේ අධ්‍යාපන කාර්යයන් සාර්ථක සහ ගුණාත්මක ආකාරයෙන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා මාර්ගගත අධ්‍යාපන කාර්යයට යොමු වීමේදී සිදුවූ අපහසුතා අවම කිරීමට වගකීම් සහගත ආයතනයක් විදිහට අපිට දැයේ දරුවන් විශාල පිරිසකට මේ කාල සීමාව තුළදී සාර්ථක අයුරින් අධ්‍යාපන කාර්යයේ නිරත වීමට අවස්ථාව ලබාදීමේ පසුබිම නිර්මාණය කර දීමට හැකි වුණා. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කාර්යයට සිදුවන බාධා අවම කරමින්, ඔවුන් හට දීප්තිමත් අනාගතයක් කරා ගමන් කිරීම අවස්ථාව ලබා දීමට සහාය වීමට ඩයලොග් ආයතනය නිරත්තරව කැපවී සිටිනවා.’’

දිවයින පුරා සිටින දරුවන් වෙත අධ්‍යාපන ලැබීමේ අවකාශය නිර්මාණය කරනා ඩයලොග් ක්‍රියාන්විතයේ මෙය තවත් එක් සුවිශේෂී වැඩසටහනකි. මෙයට අමතරව ඩයලොග් විසින් නැණස සමාරම්භක වැඩසටහන් යටතේ නැණස TV, නැණස ස්මාර්ට් පාසල, නැණස යෙදවුම සහ නොමිලේ ක්‍රියාත්මක වන නැණස 1916 දුරස්ථ අධ්‍යාපන උපකාරක සේවාව වැනි අධ්‍යාපන අවකාශ රැසක් බලගන්වයි. මෙයට අමතරව ඩයලොග් මගින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන වැඩසටහන් අතර, නැණස සිංහල සහ දෙමළ නාලිකා මෙන්ම ගුරු TV නාලිකා සඳහා ඩයලොග් ටෙලිවිෂන් සහ ViU App ඔස්සේ නොමිලේ ප්‍රවේශ වීමේ අවස්ථාව ද ලබා දී ඇත. තවද 2021 ලෝක ළමා දිනය සමරමින් ඩයලොග් සමාගම කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා අමාත්‍යාංශය සමග එක්ව දිවයින පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 379ක් වෙත නොමිලේ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවයන් ලබාදීමට කටයුතු කළේය. මෙයට අමතරව ඉ - තක්සලාව, ජාතික ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LCMS), ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට යටත්ව ඇති සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාල වල නිල විද්‍යුුත් ඉගෙනුම් අවකාශ වෙත කිසිදු ඩේටා ගාස්තුවකින් තොරව ප්‍රවිෂ්ට විය හැකිය.