Body

ඩයලොග් ආසිආටා, කොත්මලේ ප්‍රාදේශීය රෝහලට තිලිණ කළ හදිසි ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත් කරයි

2026 නොවැම්බර් 05         කොළඹ

 

ඩයලොග් ආසිආටා, කොත්මලේ ප්‍රාදේශීය රෝහලට තිලිණ කළ හදිසි ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත් කරයි

වමේ සිට: සමරු ඵලකය නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වූ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමාජ නවෝත්පාදන ජ්‍යෙෂ්ඨ කළමනාකරු, අසිත් ද සිල්වා මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය නිරංජි විජේසූරිය මහත්මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී, අසංග ප්‍රියදර්ශන මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධානී අලෙවි නිලධාරී, ලසන්ත තෙවරප්පෙරුම මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ගරු අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී, අනුෂ්කා තිලකරත්න මහත්මිය, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජගත් අධිකාරී මහතා, කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය අධිකාරී, වෛද්‍ය හිමේෂ් වීරතුංග මහතා, සහ කොත්මලේ ප්‍රාදේශීය සභාවේ සභාපති, අජිත් මුරමුදලි මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට (ETU) අවශ්‍ය සියලු උපකරණ සපයමින්, එය ප්‍රතිසංස්කරණය කර සාර්ථකව ජනතා අයිතියට පත් කළ බව සතුටින් දැනුම් දෙයි. අතිනවීන පහසුකම් සමඟින් රෝහලේ හදිසි ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කරන මෙම ඒකකයෙන්, එම රෝහල කරා පැමිණෙන කොත්මලේ හා අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් පහසුවෙන්, ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමේ හැකියාව පුළුල් කෙරේ.

දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ රට යළි ගොඩනැගීමේ කාර්යය වේගවත් කිරීමේ අරමුණෙන් රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළ යටතේ, සෞඛ්‍ය හා අධ්‍යාපනික යටිතල පහසුකම් නැංවීම සඳහා ඩයලොග් ලබාදෙන රු. මිලියන 420 ක දායකත්වයේ තවත් එක් පියවරක් ලෙසින්, මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිණි. ඒ අනුව, ඉකුත් ඔක්තෝබර් මාසයේ, හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතුද සාර්ථකව අවසන් කරන ලද අතර, මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රතිලාභ ලැබූ දෙවැනි රෝහල ලෙසින් කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මෙලෙස ජනතා අයිතියට පත් කෙරිණි. ඉදිරි මාසවලද තවත් මෙවැනිම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට නියමිත අතර, ඉහත වැඩපිළිවෙල යටතේ, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අධ්‍යාපනය සඳහා වන පහසුකම් ශක්තිමත් කරමින්, පාසල් 20 ක පාසල්වල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) යටිතල පහසුකම් නැවත ගොඩනැඟීමද සිදුකෙරෙනු ඇත.

මෙම අතිනවීන පහසුකම්වලින් යුත් හදිසි ප්‍රතිකාර ඒකකය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, 2026 නොවැම්බර් 05 වන දින, සුබ මොහොතින් ජනතා අයිතියට පත් කරන ලදී. එම අවස්ථාවට, කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය අධිකාරී, හිමේෂ් වීරතුංග මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ, සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී, ලසන්ත තෙවරප්පෙරුම මහතා සහ සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන මහතා මෙන්ම, රජයේ නියෝජිතයින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්, කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයද එක්ව සිටියහ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස සඳහන් කළේය. “ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතියක් කියන්නෙ, රටේ කොතැන වුණත් ඉන්න ජනතාවට ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලබාගන්න පුළුවන් බවට සහතික කෙරෙන පද්ධතියක්. ඒ වෙනුවෙන්, ගම් නගර වෙනසක් නැතුව, විශේෂයෙන්ම, හදිසි අවස්ථාවකදී, කලට වෙලාවට ප්‍රතිකාර ලබාදී ජීවිතයක් බේරගන්න පුළුවන් වෙන තැනට රෝහල් පද්ධතිය ශක්තිමත් කළ යුතුයි. ඒ කටයුත්තෙදි ඩයලොග් වගේ ආයතන සමඟ පවත්වාගෙන යන සහයෝගිතාවන් අතිශයින්ම වැදගත්. හලාවත රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු වගේම, මේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කරමින් ඩයලොග් අඛණ්ඩව ලබාදෙන දායකත්වය පිළිබඳවත්, ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නැංවීම වෙනුවෙන් දක්වන කැපවීම පිළිබඳවත් අපි බෙහෙවින්ම අගය කරනවා.”

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා මෙලෙස අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට පත් කිරීමට අපි දක්වන කැපවීමෙන් අදහස් කෙරෙන්නේ, හානි වුණු දේ නැවත ගොඩනැඟීම පමණක් නොවෙයි. ජනතාවට අනාගතය වෙනුවෙන් හොඳින් සූදානම්ව, වඩාත් ශක්තිමත්ව නැගී සිටීමට අත්වැලක් වීමයි. ඒ අරමුණෙන් අපි යන ගමනෙදි, හලාවත රෝහල සඳහා ලබාදුන්න දායකත්වයෙන් පසුව, කොත්මලේ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම තවත් සුවිශේෂී පියවරක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහසුකම් මේ විදිහට වැඩිදියුණු කිරීමෙන්, ඉදිරි අවුරුදු ගණනක් පුරා ගම්වල, නගරවල ජනතාවට ප්‍රයෝජන අත්කර දීමට, රජයත් සෞඛ්‍ය අංශයත් සමඟ එක්ව කටයුතු කරන්න ලැබීම, අපි ලබන සුවිශාල භාග්‍යයක්. මෙවැනි අඛණ්ඩ උත්සාහයන් තුළින් ශ්‍රී ලාංකික ජනජීවිතවල අර්ථවත් හා ස්ථිරසාර වෙනසක් උදාකිරීම අපේ බලාපොරොත්තුවයි.”

කොත්මලේ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙලෙස සාර්ථකව අවසන් කිරීම සිදුකෙරුණේ, ඩයලොග් සමාගම විසින් හලාවත දිස්ත්‍රික් මහ රෝහල සඳහා අංගසම්පූර්ණ ශල්‍යාගාරයක් ඉදිකර, එම රෝහලේ එන්ඩෝස්කොපි ඒකකයද 2026 ඔක්තෝබර් මාසයේදී ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුවය. මෙම දායකත්වයන් දෙක තුළින්, රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවාවල සිට, ශල්‍යකර්ම සහ රෝග විනිශ්චය සත්කාර දක්වාම, අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමට ඩයලොග් දරන අඛණ්ඩ ප්‍රයත්නය පිළිබිඹු වේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට ලබාදෙන දීර්ඝ කාලීන දායකත්වය අනුව, මෙලෙස රජය සහ සෞඛ්‍ය අංශය සමඟ අත්වැල් බැඳගනිමින් කටයුතු කරන ඩයලොග්, අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් ශක්තිමත් කරමින්, ජනතාව සවිබල ගන්වන අතරම, ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන අභිවෘද්ධිය උදෙසාද ඩයලොග් සිය අඛණ්ඩ දායකත්වය ලබාදෙයි.

Dialog Completes Restoration at Divisional Hospital, Kothmale

ආරාධිත අමුත්තන් කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ, අංග සම්පූර්ණ පහසුකම් සමඟින් ප්‍රතිසංස්කරණය කළ හදිසි ප්‍රතිකාර ඒකකය නරඹන අවස්ථාව.