ඩයලොග් ආසිආටා බැතිබර දායකත්වයෙන් අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය amarapura.lk දියත් කිරීම හා විහාරස්ථානවල යාවත්කාලීන නාමාවලිය එළදැක්වීම සිදුකෙරේ
February 03, 2022 Colombo

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ ශ්‍රී ලංකා අමරපුර නිකායවර්ධි දායක සභාවේ සභාපති දේශමාන්‍ය අජිත් ද සොයිසා මහතා එක්ව අමරපුර මහා නිකාය වෙබ් අඩවිය නිල වශයෙන් එළිදැක්වූ අවස්ථාව.

ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සහ අමරපුර මහා නිකායේ මහ ලේකම් ආචාර්ය පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර අනුනායක ස්වාමීන් වහන්සේ විසින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි නායක ස්වාමීන් වහන්සේට අලුතින් එළිදක්වූ නව වෙබ් අඩවිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරමින්. ශ්‍රී ලංකා අමරපුර නිකායවර්ධි දායක සභාවේ සහ —උරුමයක උල්පත පදනමේ” මහ ලේකම් ගරු ආර්.ඒ.ඩී.සිරිසේන මහතාද ඡායාරූපයේ වම් පසෙහි සිටීයි.
උතුම් බුදුදහමේ හරය අප ලංකාද්වීපය තුළ නොනැසී පවත්වාගැනීම උදෙසා අනුපමේය සේවාවක් සිදුකළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම සහ සිව්වැනි උත්තරීතර මහනායක ධූරන්ධර අතිපූජ්‍ය අග්ග මහා පණ්ඩිත, මහෝපාද්‍ය දොඩම්පහ චන්ද්‍රසිරි මහ නාහිමියන්ට ශ්‍රී අක්තපත්‍රය පිරිනැමීම ඉකුත් ජනවාරි 14වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදිණි.
අමරපුර නිකායට අයත් පාර්ශ්වයන්හී මහ නායක, අනුනානයක ස්වාමීන්වහන්සේද, ලේඛකාධිකාරී සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේ ඇතුළු ත්‍රෛ නිකායික මහා සංඝරත්නයද, විපක්ෂනායකතුමන් ද,කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුද, ආණ්ඩුකාරවරුද, විදේශීය තානාපතිවරුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, අනෙකුත් මහජන නියෝජිතයන්ද, ශ්‍රී ලංකා අමරපුර නිකායේ දායක සභාවද, ආදී වශයෙන් ගිහි පැවැදි දෙපාර්ශ්වයේම සුවිශේෂී පිරිසක් මේ සැමරුම් උළෙලට සහභාගී වූහ.
අමරපුර මහා නිකාය පාර්ශ්වයන් 22 කට අයත් විහාරස්ථාන 3591කින් හා ස්වාමින් වහන්සේලා 13762 කින් සමන්විත වේ. විදේශයන්හි විහරස්ථාන 48ක්ද අමරපුර මහා නිකාය සතු වෙයි. උරුමයක උල්පත පදනම මුලිකත්වයෙන් අමරපුර නිකායට අයත් එම සියලු විහාරස්ථානවල තොරතුරු ඒකරාශි කර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ, යාවත්කාලීන කළ විහාරස්ථාන නාමාවලිය එළිදැක්වීමද ඉකුත්දා පැවැති එකී උත්සවයට සමගාමීව සිදුවූ අතර ඒ වෙනුවෙන් මෙන්ම අමරපුර නිකායේ නිල වෙබ් අඩවිය නිර්මානය වෙනුවෙන්ද බැතිබර දායකත්වය සපයනු ලැබුවේ ඩයලොග් ආසිආටා සමාගම විසිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ ආයතනයක් සහ ශ්‍රී ලාංකික උරුමය හා සංස්කෘතිය වෙනුවෙන් දායකත්වය ලබාදීමේ දැවැන්තයෙකු වන ඩයලොග් සමාගම මහනුවර ඇසළ පෙරහැර, ගංගාරාමය නවම් මහා පෙරහැර, කැළණිය දුරුතු මහා පෙරහැර, බෞද්ධාලෝක වෙසක් කලාපය, ගංගාරාම ශ්‍රී බුද්ධ රශ්මි වෙසක් කලාපය, කතරගම ඇසළ පෙරහැර, ගැටබරු ඇසළ පෙරහැර හා කෝට්ටේ රජ මහ විහාර පෙරහැර ඇතුළු සංස්කෘතික හා ආගමික උත්සව සඳහා දීර්ඝ කාලයක් මුළුල්ලේ සිය අනුග්‍රාහකත්වය සපයයි. මෙම කර්තව්‍ය ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් හා උරුමයන් සුරැකීමේ ආයතනික ආකල්පයන්ට අනුකූලව සිදුකෙරෙන අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ සංස්කෘතික ඉතිහාසය නඟාසිටුවීමට දායකත්වය ලබාදෙමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වාහල්කඩ ඉදිකිරීමේදී, අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සහ විහාරස්ථානවල යාවත්කාලීන නාමාවලිය එලිදැක්වීමේදී හා අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ සන්නිපාත ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේදීද මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.