Body

ඩයලොග් සත් සාමාජික පාසල් රග්බි තරගාවලිය යළි බලගැන්වේ

සියලුම තරග Dialog Television නාලිකා අංක 140 සහ Dialog ViU, ThePapare.com හා Asia Rugby FB පිටුව ඔස්සේ ද සජීවීව විකාශය කෙරේ.

December 17, 2021         Colombo

 

Amali Nanayakkara, Group Chief Marketing Officer of Dialog Axiata PLC handing over the sponsorship to B.A. Abeyratne – President, Sri Lanka Schools Rugby Football Association, in the presence of Hon. Namal Rajapaksa MP, Minister of Youth and Sports.

ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී අමලි නානායක්කාර මහත්මිය විසින්, ශ්‍රී ලංකා පාසැල් රග්බි පාපන්දු සංගමයේ සභාපති බී.ඒ අබේරත්න මහතා වෙත, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදියේ තරගාවලිය වෙනුවෙන් වූ අනුග්‍රාහක චෙක්පත ලබාදුන් අවස්ථාව.
ක්‍රීඩා අමාත්‍යාශයේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කේ.ඒ.පී කිරිඇල්ල, ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සන්නාම සහ මාධ්‍ය ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක, රග්බි උපදේශනෙ කමිටුවේ ප්‍රධානී අසංග සෙනවිරත්න, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම සහ අධ්‍යාපන අමාත්‍යංශයේ, ශාරිරික අධ්‍යාපන සහ ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂ දයා බණ්ඩාර යන මහත්වරුන්ද ඡායරූපයේ (වමේ සිට දකුණට) වෙති

පාසැල් ක්‍රීඩාව තුළ වඩාත් අවධානයට ලක්වන තරග අංශයක් ලෙසින් අවිවාදිත, රග්බි ක්‍රීඩාව, COVID-19 වසංගතය හේතුවෙන් වාර දෙකක පමණ විරාමයකින් අනතුරුව යළි අරඹමින් ‘ඩයලොග් සත් සාමාජික රග්බි තරගාවලිය-2021’ දෙසැම්බර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය. මෙහිදී තරගාවලියේදී ඉහළින්ම රග්බි ක්‍රීඩා කරන කලාපවල දක්ෂතම කණ්ඩායම් ශූරතාව වෙනුවෙන් සටන් වදිනු ඇත.

දක්ෂතාවන් දියුණු තියුණු කිරීම පිණිස උරදෙමින් සහ අපගේ අනාගතය වෙනුවෙන් අද දිනයේ ආයෝජනයක් බවට පත්වන මෙම ඩයලොග් සත් සාමාජික පාසල් රග්බි තරගාවලිය මගින්, සිය අවසන් වසරේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ පාසල් රග්බි ක්‍රීඩකයන්ට ක්‍රීඩා සමාජ සහ ජාතික කණ්ඩායමේ දොරටු විවර කරගැනීම පිණිස අවස්ථාවද විවර කර දෙනු ලැබෙනු ඇත.

බස්නාහිර, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත් නියෝජනය කරනු ලබන කණ්ඩායම් කාණ්ඩ වශයෙන් මෙම තරගාවලියට ක්‍රීඩාකරන අතර එම කාණ්ඩ වල ප්‍රමුඛයන් එකිනෙකා සමගින් පිළිමළුන් පිටුදැකීමේ අදියරකදී ශූරතාව සඳහා සටන් වදිනු ඇත.‍ මේ අතර සබරගමුව පළාත් කණ්ඩායම් ලීග් ක්‍රමයට සිය පළාත් ශූරතාව වෙනුවෙන් තරගවැදීමට යෙදී තිබේ.

ඩයලොග් ආසියාටා සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස, ආදි සිසුන්, දෙමාපියන් සහ අනෙකුත් ආධාරකරුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට ආදරය කරන සියලුම දෙනා වෙනුවෙන් තරග නැරඹී පහසුකම් ලබා දෙමින් තරගාවලියේ සියලුම තරග DTV නාලිකා අංක 140, Dialog ViU, Thepapare.com සහ Asia Rugby FB පිටුව ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

මෙහිදී කණ්ඩායම් සඳහා එක්වන සියලු දෙනාටම dlg.lk/mostpopular වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තරග පැවැත්වෙන දිනයන් හිදී සෑම පළාතකින්ම ජනප්‍රියම කණ්ඩායම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබේ. තරගාවලියේ අවසන් මහා තරගයට පෙර සෑම පළාතකම ජයග්‍රාහී කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරෙන අතර ඔවුන්ට ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා රු 50,000 තෑගි වවුචර පිරිනැමේ.

ඩයලොග් සත් සාමාජික පාසල් රග්බි තරගාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ තෘතීයික අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රීඩා කරනු ලබන අතර අදාළ ක්‍රීඩකයින් ඔවුන්ගේ පාසල්වල අධීක්ෂණය යටතේ ඇති ජෛව බුබුලක නියමිත කාලයක් රැඳී සිටීම අනිවාර්ය වේ. මේ අතර තරග පැවැත්වෙන කාල සීමාවන් තුළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණද (Rapid Antigen Tests) අඛණ්ඩව සිදු කරනු ඇත.

කොළඹ රාජකීය විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, ශාන්ත ජෝසප් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, සහිරා විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, මහානාම විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, පිළියන්ද මධ්‍ය විද්‍යාලය, කේරි විද්‍යාලය, මොරටු විද්‍යාලය, ශාන්ත ජෝන් විද්‍යාලය, සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලය, සුමංගල විද්‍යාලය, ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, සහ සිරි පියරතන විද්‍යාලය මෙම තරගාවලිය වෙනුවෙන් බස්නාහිර පළාත සඳහා තම සහභාගිත්වය තහවුරු කර ඇති පාසල් වේ. බස්නාහිර පළාත් තරග දෙසැම්බර් 18 සහ 19 දෙදින ආරම්භ වන අතර එම තරග කොළඹ 07, රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

තරගාවලියට ඉදිරිපත්වන මධ්‍යම පළාතේ පාසල් අතරට ත්‍රිත්ව විද්‍යාලය, කිංග්ස්වුඩ් විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, ශාන්ත අන්තෝනි විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, සුමංගල විද්‍යාලය, ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ ශ්‍රී රාහුල විද්‍යාලය ඇතුළත් වේ. දෙසැම්බර් 27 වැනිදා පල්ලෙකැලේ රග්බි පිටියේදී එම තරග පැවැත්වීමට යෙදී තිබේ.

ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, තල්දූව විද්‍යාලය, මාවනැල්ල සහිරා විද්‍යාලය, කෑගලු විද්‍යාලය සහ දෙහිඕවිට මධ්‍ය මහා විද්‍යාලය සබරගමුව පළාතේ ආධිපත්‍යය සඳහා සටන් කරන පාසල් වන අතර එහි තරග 2021 දෙසැම්බර් 28 වැනි දින රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. වයඹ පළාත නියෝජනය කරන පාසල් වනුයේ මලියදේව විද්‍යාලය, ශාන්ත ආනා විද්‍යාලය, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය, වෙලගෙදර විද්‍යාලය, ලක්දාස් දිමෙල් විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය වේ. එම තරග 2021 දෙසැම්බර් 30 වැනි දින කුරුණෑගල මලියදේව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඩයලොග් සත් සාමාජික පාසල් රග්බි තරගාවලියේ දකුණු පළාත වෙනුවෙන් ශාන්ත ඇලෝසියස්, රිච්මන්ඩ් විද්‍යාලය, මහින්ද විද්‍යාලය, දේවපතිරාජ විද්‍යාලය, විද්‍යාලෝක විද්‍යාලය, දෙබරවැව මධ්‍ය විද්‍යාලය සහ රාහුල විද්‍යාලය අතර තියුණු තරගාවලියක් අපේක්ෂා කරනු ලැබේ. මෙම තරඟාවලිය 2021 දෙසැම්බර් 31 වන දින කොග්ගල නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය.

2018 තරග වාරය සම්පූර්ණ පාසල් තරඟාවලියක් පැවැත්වූ අවසාන අවස්ථාව වූ අතර, එයට පසු වසරේ තරගාවලිය COVID-19 ව්‍යාප්තිය සමගින් නවතා දැමීමට සිදුවිය. මෙවර තරගාවලියට සහභාගීවන ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂාව උදෙසා ප්‍රේක්ෂකයන් රහිතව පැවැත්වීමට යෙදී තිබේ.

“ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා ගෙන බැලූ විට රග්බි ක්‍රීඩාව නිරන්තරයෙන්ම විවාධාත්මක මාතෘකාවක් යටතට වැටෙනවා. එවැනි කාලවකවානුවක ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය නැවත බලගැන්වීම සහ ඒ සඳහා ඩයලොග් ආසියාටා වෙතින් ලබාදෙන අනුග්‍රහය පිළිබඳ කෘතඥවේදීව සිහිපත් කළ යුතුයි.” යැයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

“කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් ජාතික සංචිතයට නව දක්ෂතා සහිත ක්‍රීඩකයින් ඇතුළත් කර ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති අතර ජාතික සංචිතයට නවක දක්ෂයින් තෝරා ගැනීමට ඩයලොග් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය හොඳ පිටිවහලක් වනු ඇත. සති දෙකක කාලයේදී සාර්ථක සත්සාමාජික රග්බි තරගාවලියක් පැවැත්වීම වෙනුවෙන් මම සුභ පතනවා” යි යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සිය කතාව අවසන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ “අපි මුහුණ දෙන අභියෝගාත්මක කාලයක් අතරතුර මේ ආකාරයෙන් සත් සාමාජික තරඟාවලියක් හරහා ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ආරම්භ කිරීමට වඩාත්ම ප්‍රායෝගික විසඳුමක් බව මගේ අදහසයි. මෙවන් දැවැන්ත තරඟාවලියක් පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයට (SLSRFA) සහාය පිණිස ඉදිරිපත් වීම ගැන ඩයලොග් ආසිආටා සමාගමට මගේ ස්තුතිය පිරිනැමෙනවා” යි පාසල් රග්බි සංගමයේ සභාපති බී.ඒ. අබේරත්න පැවසීය. රග්බි ක්‍රීඩාව පූර්ණ සම්බන්ධතා ක්‍රීඩාවක් වන බැවින්, මෙම තරගාවලිය වඩාත් ආරක්ෂිත ලෙස පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අපට ලැබී තිබෙනවා.” යනුවෙනි.

ඩයලොග් ආසියාටා පීඑල්සී ජාතික ක්‍රිකට්, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, ජාතික සහ පාසල් රග්බි තරගාවලි, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා සහ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක පැරාලිම්පික් තරගාවලිය බලගැන්වීමට කටයුතු කර ඇත.