ICC විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය සොයා යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ගමනට ඩයලොග් අත්වැල සපයයි
2026 ජූනි 04 කොළඹ
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා මෙන්ම, මෙරට ක්‍රීඩාවේ ප්‍රබලතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, 2026 ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඉකුත් බදාදා දින එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි. 2026 ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස, ගෝලීය වේදිකාවක ශ්‍රී ලංකාව නියෝජනය කරන මෙම කණ්ඩායම පිටුපස සිටිමින් ඔවුන්ගේ එම ගමන් මඟට මහගු ශක්තියක් වීමට ලැබීම පිළිබඳව ඩයලොග් සමාගම ආඩම්බර වෙයි.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මෙම ජාතික කණ්ඩායම, අලුතින් පත් වූ ප්‍රධාන පුහුණුකරු ජේමි සිඩන්ස් යටතේ අලුත් වූ විශ්වාසයක් සහ බලාපොරොත්තු සහිතව මෙම දැවැන්ත ගෝලීය මහා ක්‍රීඩා ඉසව්වට අවතීර්ණ වනු ඇත. ජූනි 12 සිට ජූලි 5 දක්වා එංගලන්තය සහ වේල්සයේදී පැවැත්වෙන මෙම තරගාවලියේදී ශූරතාව උදෙසා කණ්ඩායම් 12ක් තරග වදින අතර ඒ අනුව මෙය, කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ විශාලතම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගි වන තරගාවලිය බවට පත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සිය පළමු සටන ලෙසින්, ජූනි 12 වැනිදා එජ්බැස්ටන්හිදී සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරමින් ලෝක කුසලාන ගමන ආරම්භ කරනු ඇත. නමුත් එම තරගයට පෙරාතුව, ජූනි 6 වැනිදා පාකිස්තානයට එරෙහිවත්, ජූනි 9 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව ඩර්බිහිදීත්, පුහුණු තරග දෙකකට ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතය.
සත්කාරක එංගලන්තය, ඉකුත් ශූරියන් වන නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය සමඟ අභියෝගාත්මක 2 වැනි කාණ්ඩයට ඇතුළත් වී සිටින ශ්‍රී ලංකාවට, පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසීම උදෙසා දැඩි සටනක් දීමට සිදුවනු ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලෝක කුසලාන තරගාවලිය සඳහා එංගලන්තයට පැමිණියේ, ඉකුත් සමයේ බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශයට එරෙහිව කැපී පෙනෙන තරගාවලි ජයග්‍රහණ කිහිපයක් ලබාගැනීමෙන් අනතුරුව ජයග්‍රාහී මානසිකත්වයක් සහිතව වීම කැපී පෙනෙයි.
සංචාරය සඳහා පිටත්ව යාමට පෙර අදහස් දැක්වූ නායිකා චමරි අතපත්තු, තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබාගැනීමට නම්, ලොව ප්‍රමුඛ පෙළේ කණ්ඩායම්වලට එරෙහිව අභීතව ක්‍රීඩා කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. “අපිට එංගලන්තය සහ නවසීලන්තය වගේ කණ්ඩායම්වලට එරෙහිව කිසිම පීඩනයක් නැතිව නිදහස් ක්‍රීඩා විලාශයක් දියත් කරන්න වෙනවා. ජයග්‍රහණය කරන්න නම් අපේ උපරිම දක්ෂතා අතරට එන්න ඕනේ. හිතේ සැකයක් හෝ බියක් තියාගෙන ක්‍රීඩා කරන්න බැහැ. අපි යන්නේ ඉතාමත් විවෘත මනසකින්” යැයි ඇය පවසා සිටියාය.
ඉදිරියේ ඇති අභියෝග පිළිබඳව තමන් අවබෝධයෙන් පසුවන අතරම, පසුගිය වසරේ එංගලන්තයේදීම එංගලන්තයට එරෙහිව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය හේතුවෙන් තම කණ්ඩායම පිළිබඳ සිය විශ්වාසය තබා සිටින බව ශ්‍රී ලංකා නායිකාව පැවසුවාය. “එංගලන්තයේ තණතිලිවල තත්ත්වයන් දඟපන්දු යවන්නන්ට ලෙහෙසි වෙන්නේ නැහැ. තරගාවලිය ඉදිරියට යද්දී එය වෙනස් වෙන්න පුළුවන් වුණත්, දැනට පෙනී යන විදිහට තණතීරුවලින් දඟපන්දු යවන්නන්ට ලොකු සහයෝගයක් ලැබෙන්නේ නැහැ. දැනට අපි දන්නවා මේ තත්ත්වය වේගපන්දු යවන්නන්ට සහ පිතිකරුවන්ට වාසිදායක විය හැකි බව. ඒ නිසා අපි ඒ අනුව සූදානම් වී සිටිනවා” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගි වීම මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩ වර්ධනයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඩයලොග් සමාගම, ශ්‍රී ලංකාව තුළ අයි.සී.සී තරගාවලි විකාශය කිරීමේ සුවිශේෂී නිල අයිතිය හිමි ආයතනය ලෙසින්, ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට සහය වීමටත්, ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගෝලීය වේදිකාවේ තරග කිරීමටත්, ශක්තියක් වීම පිණිස නිරන්තරයෙන් කැපවී සිටියි.
කණ්ඩායම ලෝක කුසලාන අභියෝගයට මුහුණ දීම පිණිස රටින් බැහැරව යෑම පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා මෙසේ පැවසීය: “ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම අභියෝගයකට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ එක්ව සිටීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. පසුගිය වසර කිහිපය තුළ මෙම කණ්ඩායම පෙන්වූ කැපවීම, නොපසුබට උත්සාහය සහ සාර්ථකත්වය මුළු රටටම ආදර්ශයක් වී තිබෙනවා. 2026 ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන චමරි අතපත්තු ඇතුළු සමස්ත සංචිතයටත්, පුහුණුකරු ජේමි සිඩන්ස්ටත් අපි විශිෂ්ට ජයග්‍රහණ ප්‍රාර්ථනා කරනවා” ලෝක කුසලාන තරගාවලියකට ප්‍රථම වරට අවතීර්ණ වූ දා පටන්, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඛණ්ඩව ස්ථාවර ප්‍රගතියක් අත්කර ගෙන සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබානොමැති වුවද, වත්මන් සංචිතය මෙම තරගාවලියට අවතීර්ණ වන්නේ, අලුත් ඉතිහාසයක් ලිවීමේ සහ ක්‍රිකට් පිටියේ දැවැන්තම වේදිකාවක තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වේ.
ක්‍රිකට් ලෝලීන්ට මෙම ලෝක කුසලානේ සියලුම තරග 'ඩයලොග් ටෙලිවිෂන්' (චැනල් අංක 68,120 සහ 63), ඔස්සේ සජීවීව නැරඹිය හැකි අතර, Dialog Play ජංගම දුරකතන යෙදුම සහ ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ ද සජීවීව විකාශය නැරඹිය හැකිය.
ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සහ ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරිනැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව, ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ට සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් අඛණ්ඩව කටයුතු කරනු ලබයි.