Body

Doc990 සහ Lassana Health, පාරිභෝගිකයින්ගේ ඖෂධ ඇණවුම් නිවෙසටම ගෙන්වා ගැනීමේ පහසුව සැලසීම සඳහා එක්වෙයි

2026 සැප්තැම්බර් 20         කොළඹ

 

වමේ සිට: Lassana Group of Companies හි සමූහ අධ්‍යක්ෂ/ප්‍රධාන උපායමාර්ගික හා වර්ධන නිලධාරී, ඉසිර පෙරේරා මහතා, Lassana.com (Pvt) Ltd හි නිර්මාතෘ/සභාපති, ආචාර්ය ලසන්ත මලවිගේ මහතා, Digital Health Pvt Ltd හි ප්‍රධාන විධායක නිලධාරී, ජනිත් පීරිස් මහතා, Digital Health Pvt Ltd හි ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී, තීක්ෂණ ඒකනායක මහතා සහ Digital Health Pvt Ltd හි තාක්ෂණ ප්‍රධානී, කසුන් රණසිංහ මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි අනුබද්ධ Digital Health (Pvt) Ltd හි ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් පිරිනමන සේවාවක් වන Doc990, Lassana Health සමඟ ඇති කරගත් සුවිශේෂී සහයෝගීතාව හරහා තම ෆාමසි ජාලය තවදුරටත් පුළුල් කර තිබේ. Doc990 සතු ඩිජිටල් සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරන මෙම සුවිශේෂී සහයෝගීතාවයෙන් පාරිභෝගිකයින්ට දැන් ෆාමසි වෙත යාම වෙනුවට, තම ජංගම දුරකතනයෙන් Doc990 App එක හා වෙබ් අඩවිය ඔස්සේ Lassana Health Pharmacy හරහා නිවසේ සිටම ඉතා ආරක්ෂිතව හා විශ්වාසයෙන් යුතුව ඖෂධ ඇණවුම් කර, ‌ගෙන්වා ගත හැකි වේ.

දැනට බස්නාහිර පළාත තුළ ඖෂධ බෙදාහැරීමේ කටයුතු ක්‍රියාත්මක වන මෙම සේවාව හරහා රෝගීන්ට වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් සේවාව ලබා ගැනීමට හැකි වේ. පාරිභෝගිකයෙකුගේ ඖෂධ ඇණවුම් කිරීමේ පටන්, නිවසටම බෙදාහරින තෙක් අදාළ සියලු කටයුතු Lassana Health සේවා සැපයුම් කණ්ඩායම විසින් වඩාත් කාර්යක්ෂමව සිදුකරනු ලැබේ. ඒ අනුව මෙම සේවාව ඔස්සේ පාරිභෝගිකයින්ට අවශ්‍ය ඖෂධ කිසිදු කරදරයකින් තොරව, විශ්වාසනීය අත්දැකීමකින් යුතුව ගෙන්වා ගැනීමට ඔවුන්ට හැකියාව සැලසේ.

මෙම නව හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් Doc990 ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජනිත් පීරිස් මහතා මෙලෙස සඳහන් කළේය. "මෙම සහයෝගීතාවය, හුදෙක් ඖෂධ බෙදාහැරීමක් පමණක් නොවෙයි. මේ හරහා රෝගීන් සෞඛ්‍ය සේවාවන් ලබාගන්නා ආකාරයත් පරිවර්තනය කෙරෙනවා. ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් Lassana Health සතු විශේෂඥ දැනුම Doc990 පද්ධතියට ඒකාබද්ධ කිරීම මඟින් අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමට තිබූ බාධක ඉවත් කරමින් පහසු විශ්වාසදායක සහ ආරක්ෂිත අත්දැකීමක් පිරිනැමීමට අපට හැකියි. ඒ අනුව, සෞඛ්‍ය සේවාවන් සෑම ශ්‍රී ලාංකිකයකුගේම අතට පත් කිරීමේ පොරොන්දුව තව දුරටත් සැබෑ කර ගැනීමට මෙම සහයෝගීතාවය උපකාරී වෙනවා.”

මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් Lassana.com (Pvt) Ltd ආයතනයේ නිර්මාතෘ/සභාපති වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා මෙලෙස සඳහන් කළේය: "Doc990 සමඟ සහයෝගයෙන් හඳුන්වාදුන් මෙම නවතම සේවාව තුළින්, බස්නාහිර පළාත පුරා විශ්වාසදායක ඖෂධ බෙදාහැරීමේ පහසුකම් සමඟින්, රෝගීන්ට Lassana Health Pharmacy හරහා, වෛද්‍ය නිර්දේශය සහිත ඖෂධ වට්ටෝරු සඳහා ඖෂධ ලබාගැනීම වඩාත් පහසු කර තිබෙනවා. මෙයින් පෙන්නුම් කරන්නේ, පාරිභෝගිකයින්ට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් කලට වේලාවට, පහසුවෙන් ලබාගැනීමට හැකියාව සැලසීම සඳහා අප දක්වන කැපවීමයි. ඉදිරියේදීත්, අපගේ බෙදාහැරීමේ ජාලය පුළුල් කර, විශ්වාසදායක ෆාමසි සේවාවන් හරහා අපගේ ජනතාව තවදුරටත් සවිබල ගැන්වීම, අපගේ බලාපොරොත්තුවයි.”

Lassana Health Pharmacy සමඟ ඇති කරගත් මෙම සහයෝගිතාවය තුළින්, මෙවැනි ඩිජිටල් නවෝත්පාදන හරහා ශ්‍රී ලාංකීය ජනතාවට පහසුවෙන්ම ලබාගැනීමේ හැකියාව සැලසීම සඳහා Doc990 දක්වන අඛණ්ඩ කැපවීම පිළිබිඹු කෙරේ. එය මෙරට සෞඛ්‍ය සේවාව රෝගීන් කේන්ද්‍ර කරගත්, පුළුල් ඩිජිටල් පද්ධතියක් දක්වා වැඩිදියුණු කිරීමේ සුවිශේෂී පියවරක් බවටද පත්වේ. මේ හරහා ඖෂධ බෙදාහැරිමේ කටයුතු සම්බන්ධ විශ්වාසනීය ආයතනයක සේවය, Doc990 හි ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් හා ඒකාබද්ධ කර, පාරිභෝගිකයින් බලගන්වන මෙම සේවාවෙන්, ශ්‍රී ලංකාව පුරාම ජනතාවට ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් හරහා තම සෞඛ්‍ය ඖෂධ අවශ්‍යතා පහසුවෙන් ඉටුකරගනිමින්, සැනසිල්ලේ කාලය ගත කිරීමට අවස්ථාව උදාකර ඇත.

පාරිභෝගිකයින්ට https://www.doc.lk/ වෙත පිවිස හෝ Apple Store හෝ Google Play Store වෙතින් Doc990 මොබයිල් App එක ඩවුන්ලෝඩ් කරගැනීමෙන්, මෙම සේවාව ලබාගත හැක.